ශ්‍රී ලංකාවට කඩුලු 03ක පරාජයක්

ශ්‍රී ලංකාවට කඩුලු 03ක පරාජයක්

August 16, 2024   10:24 pm

අයර්ලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායමට එරෙහි තරග 03කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවති පළමු තරගයෙන් කඩුලු 03ක පරාජයක් ලැබීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට අද (16) සිදුවිය.

අයර්ලන්තයේ බෙල්ෆාස්ට් හි පැවති මෙම තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායම ලබාදුන් ලකුණු 261ක ඉලක්කය කඩුලු 07ක් දැවී තිබිය දී තරගයේ 49.2වැනි පන්දුවාරයේදී පසුකර යෑමට අයර්ලන්තය සමත් විය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් කවීෂා දිල්හාරි ලකුණු 54කට කඩුලු 04ක් බිඳහෙළමින් පන්දු යැවීමෙන් දක්ෂතා දැක් වුව ද, සටන්කාමී ඉනිමක් ක්‍රීඩාකළ Orla Prendergast ගේ  ඉනිම හේතුවෙන් පරාජය භාරගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවිය.

මෙම තරගයේ කාසියේ වාසිය දිනූ අයර්ලන්ත නායිකාව පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා ශ්‍රී ලංකාවට ආරාධනා කළාය.

ඒ අනුව ඔවුන් නියමිත පන්දුවාර 50 තුළ දී කඩුලු 08ක් දැවී ලකුණු 260ක් රැස්කිරීමට සමත් විය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ විශ්මි ගුණරත්න ලකුණු 101ක් රැස් කළාය.

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමක් අයර්ලන්තයේ සංචාරයක නිතර වන පළමු අවස්ථාව ද මෙය වෙයි. 

දෙරට අතර පළමුව පැවැති තරග 02කින් යුත් විස්සයි20 තරගාවලියද තරග 1-1ක් ලෙසින් සමසමව අවසන් විය.

එමෙන්ම මෙය අයර්ලන්ත හමුවේ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමක් එක්දින තරගයක් පරාජය වූ පළමු අවස්ථාව ද වෙයි.

මීට පෙර දෙරට අතර (2007-2023) එක්දින ජාත්‍යන්තර තරග 05ක් පවත්වා ඇති අතර එම සියලුම තරග ශ්‍රී ලංකාව ජයගෙන තිබුණි.