ගෝලීය දකුණේ හඬ සමුළුවට ජනපති එක්වෙයි

ගෝලීය දකුණේ හඬ සමුළුවට ජනපති එක්වෙයි

August 18, 2024   01:30 pm

බෙංගාල බොක්ක සහ ඒ අවට කලාපය මේ වන විට වර්ධනයේ මධ්‍යස්ථානයක් බවට පත්වෙමින් තිබෙන බැවින් බිම්ස්ටෙක් (BIMSTEC) සංවිධානයේ වැදගත්කම දිනෙන් දින ඉහළයමින් පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ ඊයේ (17) පැවති 'ගෝලීය දකුණේ හඬ' සමුළුවේ රාජ්‍ය නායක සැසිය සඳහා අනුරාධපුර ජනාධිපති මන්දිරයේ සිට මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ සම්බන්ධ වෙමිනි.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ප්‍රධානත්වයෙන් "තිරසර අනාගතයක් සඳහා සවිබල ගැන්වූ ගෝලීය දකුණක්" යන තේමාව යටතේ තුන්වැනිවරට පැවැත් වූ මෙම සමුළුව සඳහා රටවල් රැසක රාජ්‍ය නායකයින් සහභාගී වී තිබේ. 

තවදුරටත් බටහිරට ගෝලීය නායකත්වයේ ආධිපත්‍යය දැරීමට නොහැකි තැනකට ළඟා වී ඇති බැවින් එවැනි තත්ත්වයක් තුළ ගෝලීය දකුණ ශක්තිමත් කිරීමට ඉන්දියාව දරණ උත්සාහය ප්‍රශංසනීය බව ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දී තිබේ. 

බිම්ස්ටෙක් සංගමයේ සාමාජිකයෙකු ලෙස ශ්‍රී ලංකාව, ඉන්දියාව සමඟ සමීප ආර්ථික ඒකාබද්ධතාවයකින් යුතුව, ජපානයේ සිට ඉන්දියාව දක්වා ආර්ථික සහයෝගීතා ගිවිසුම් ඇති කර ගැනීම අරමුණු කරගනිමින් කලාපීය විස්තීරණ ආරථික හවුල්කාරීත්වයෙහි (RCEP) සාමාජිකත්වය ලබාගැනීමට අපේක්ෂා කරන බවත් ජනාධිපතිවරයා මෙහිදී පවසා තිබේ.