අනියම් පෙම දරු පවුලක් විනාශ කරයි

අනියම් පෙම දරු පවුලක් විනාශ කරයි

August 18, 2024   05:05 pm

සිය බිරිඳගේ සිරුරට පෙට්‍රල් දමා ගිනි තබා ඇයව ඝාතනය කිරීම සම්බන්ධයෙන් වෙන්නප්පුව ප්‍රදේශයේ කුලී නිවසට රැඳී සිටි පුද්ගලයෙකුව අද (18) අත්අඩංගුවටය ගත් බව පොලීසිය පවසයි.

අනියම් සම්බන්ධතාවයක් හේතුවෙන් සිය දරුවන් ගැන නොසිතා බිරිඳ නිවසින් පිටව යාමට උත්සාහ කළ බවත් එය වැළැක්වීම සඳහා බිරිඳගේ සිරුරට පෙට්‍රල් වක්කර ගිනි තැබූ බවත් සැකකරු පොලීසියට පාපෝච්චාරණය කර තිබේ.

ඝාතනයට ලක් ව ඇත්තේ 37 හැවිරිදි තිදරු මවකි.

ආර්ථික අපහසුතා හේතුවෙන් මීට වසර 2කට පෙර, ගෘහ සේවිකාවක් ලෙස සේවය කිරීම සඳහා ඇයව මැදපෙරදිග රටකට යවා ඇත්තේ සැකකාර සැමියා විසිනි.

නමුත් විදෙස්ගත වූ පසු සිය බිරිඳ, මීගමුව කොච්චිකඩේ ප්‍රදේශයේ පදිංචිව සිටින පුද්ගලයෙකු සමග අනියම් සම්බන්ධතාවයක් ගොඩනගා ගෙන ඇති බව සැකකරු පවසයි.

ඉන්පසු ඇය අනියම් සැමියාට වැටුපෙන් වැඩි මුදලක් එවා ඇති බවත් තමන්ට සහ දරුවන්ට සුළු මුදලක් එවා ඇති බවත් සැකකරු පොලීසිය ට පවසා තිබේ.

සිය බිරිඳ මාස කිහිපයකට පෙර මෙරටට පැමිණ ඇති නමුත් ඇය නිවසට නොපැමිණ අනියම් සම්බන්ධතාවය පැවැත්වූ පුද්ගලයා පදිංචිව සිටි කොච්චිකඩේ නිවසට ගොස් ඔහු සමග ජීවත් වූ බවත් සැකකාර සැමියා පවසා ඇත.

තමන් ඒ බව දැන සිටියත් ගැටුමක් ඇති නොකළ බවත් සිය දෙවැනි පුතුගේ උපන් දිනය පසුගිය 10 වනදා යෙදී තිබූ බැවින් දරුවන් බැලීමට පමණක් නිවසට එන ලෙස ඇයට පවසූ බවත් ඔහු පවසා තිබේ.

ඒ අනුව ඇය පසු ගිය 10 වනදා නිවසට පැමිණ ඇති එම කාන්තාව නැවත 14 වනදා නිවසින් පිටව යාමට සූදානම් වී තිබූ බව සඳහන් ය.

එහිදී සැමියා පවසා ඇත්තේ  දරුවන් වෙනුවෙන් නිවස අත්හැර නොයා සිටින ලෙසට ය.

නමුත් ඇය එය ප්‍රතික්ෂේප කරමින් නිවසින් පිටත්වීමට සූදානම් වූ බැවින් තණකොළ කැපිමේ මැෂීමට දැමීමට රැගෙන විත් තිබු පෙට්‍රල්, භාජනයකට වක්කර එකවර ඇයගේ සිරුරට විසිකර ඒ සමගම ගිනිකූරක් පත්තුකර විසිකර දැමූ බව සැකකාර සැමියා පොලීසියට පවසා ඇත.

පසුව සිය මව ගිනි ගන්නා බව දුටු ඇයගේ 14 හැවිරිදි පුතු කෑ ගසා ගින්න නිවීමට උත්සාහ කර ඇති අතර ඇය ද නිවසින් පිටතට දිවගොස් ගින්න නිවා ගැනීමට උත්සාහ කර තිබුණි.

අසල්වැසින් එය දැක වහා ගින්න නිවා ඇයව මාරවිල රෝහල වෙත රැගෙන ගොස් ඇත.

පසුව ඇය වැඩිදුර ප්‍රතිකාර සඳහා මීගමුව මහ රෝහලට ඇතුළත් කර ඇති අතර පිළිස්සුම් තුවාල හේතුවෙන් බරපතළ තත්ත්වගේ සිටි එම කාන්තාව ඊයේ (17) මියගොස් ඇති බව වාර්තා විය.

ඒ අනුව මරණය සම්බන්ධයෙන් සැකකාර සැමියා වෙන්නප්පුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකාර සැමියා 41 හැවිරිදි පොල් කඩන්නේකු ලෙස රැකියාවේ නියුතුව සිටි පුද්ගලයෙකි.

පොලීසිය පැවසුවේ මවත් පියත් අහිමිව සිටින අවුරුදු 14 හා 9ය වයස් සීමාවල සිටින දරුවන් තිදෙනා සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කර පරිවාසයට ඇතුළත් කිරීමට කටයුතු කරමින් සිටින බවය.