ජනපති ධුර අපේක්ෂකයන් මුදල් වියදම් කළ යුතු අයුරු

ජනපති ධුර අපේක්ෂකයන් මුදල් වියදම් කළ යුතු අයුරු

August 20, 2024   03:51 pm

2024 ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයෙකුට මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා එක් ඡන්දහිමියෙකු වෙනුවෙන් වැය කළ හැකි උපරිම මුදල රුපියල් 109ක් ලෙස දක්වමින් මැතිවරණ කොමිෂන් සභාව අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කළේය.

ඒ, 2023 අංක 3 දරන මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනතේ තුන්වන වගන්තිය ප්‍රකාරවය.

ඒ අනුව ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයෙකුට සිය මැතිවරණ ප්‍රචාරක වියදම් ලෙස වැය කළ හැකි උපරිම සීමාව රුපියල් එකසිය අසූ හයකෝටි අසූ දෙලක්ෂ 98,586කි. 

ජනාධිපති අපේක්ෂකයෙකුට එම මුදලින් සියයට 60ක් හෙවත් රුපියල් එකසිය දොළොස් කෝටි නවලක්ෂ 79,151යි ශත 60ක මුදලක් සිය ප්‍රචාරක වියදම් ලෙස දැරිය හැකිය. 

ඊට අමතරව ඉතිරි සියයට 40 හෙවත් රුපියල් හැත්තෑහතර කෝටි හැත්තෑ තුන්ලක්ෂ 19,434යි ශත 40ක මුදලක් අපේක්ෂකයාගේ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් පිළිගත් දේශපාලන පක්ෂයක හෝ වෙනත් දේශපාලන පක්ෂයක ලේකම්වරයාට හෝ අපේක්ෂකයෙකු නාමයෝජනා කළ ඡන්දහිමියාට වැයකළ හැකි බව මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කළ ගැසට් නිවේදනයේ සඳහන් ය. 

මැතිවරණ ප්‍රචාරක වියදම් ඇතුළත් වියදම් වාර්තාව මැතිවරණ ප්‍රතිඵල ප්‍රකාශයට පත්කර දින 21ක් ඇතුළත මැතිවරණ කොමිෂන් සභාව වෙත භාරදිය යුතු වෙයි.

අදාළ ගැසට් නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ, එම වාර්තාව සැකසීමේදී ප්‍රචාරක වියදම් සඳහා මුදල් ලැබුණු ආකාරය, ඒවා වියදම් කළ ආකාරය පිළිබඳ සවිස්තර තොරතුරු ඇතුළත් විය යුතු බවය.

ඒ අනුව එහි ප්‍රචාරණ දැන්වීම්, අත්පත්‍රිකා, ධජ, පතාක, සිතුවම්, පෝස්ටර් ආදියේ වියදම් මෙන්ම ගුවන් විදුලි හෝ රූපවාහිනී ප්‍රචාර, සමාජ මාධ්‍ය, ඩිජිටල් පුවරු හෝ ඕනෑම ඩිජිටල් මාධ්‍යයක කරන ප්‍රචාරණ වියදම් මෙන්ම වාහන ධාවනයට ඉන්ධන සැපයීම ආදිය සඳහා ගෙවීම් සිදුකළේ ද නැද්ද යන්න තහවුරු කරන බිල්පත් කුවිතාන්සි, ගෙවීම් රහිතව ලබාගන්නේ නම් එම සේවාව ලබාදුන් තැනැත්තාගේ නම, ජාතික හැඳුනුම්පත් අංකය හා ලිපිනය ඇතුළත් කළ යුතුය. 

කෙසේ වෙතත්, අදාළ වාර්තාවේ ජනාධිපති ධුර අපේක්ෂකයා ප්‍රවාහන කටයුතු සඳහා සහ ලිපිද්‍රව්‍ය, දුරකථන හෝ වෙනත් ආකාරයක සන්නිවේදන කටයුතු සඳහා කරනු ලැබූ වියදම ඇතුළත් කළ යුතු නොවේ.

නියමිත දිනයට අදාළ වාර්තාව භාරනොදීම හෝ වාර්තාවල දෝෂ සහිතවීම නීතීවිරෝධී ක්‍රියාවක් වන වරදක් වන අතර, ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා තෝරා පත් කරගැනීමේ ඡන්ද විමසීම් පනතේ සඳහන් දණ්ඩනයට යටත් විය යුතු බවද මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කළ ගැසට් නිවේදනයේ දැක්වෙයි. 

මැතිවරණ කොමිෂන් සභාව විසින් සියලු පිළිගත් දේශපාලන පක්ෂ අපේක්ෂකයින්, වෙනත් දේශපාලන පක්ෂ අපේක්ෂකයින් සහ ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා භාරදුන් අපේක්ෂකයින් සමග සාකච්ඡා කර මෙම වියදම් සීමාවන් තීරණය කර තිබේ.

පසුගිය සෙනසුරාදා ඊට අදාළව පැවති සාකච්ඡාවේදී ශත පනහේ සිට රුපියල් දහස දක්වා අගයන් යටතේ අපේක්ෂකයින් ඉල්ලීම් ඉදිරිපත් කර තිබූ බව වාර්තා විය.