මිලියන 4ක කප්පම් ඉල්ලූ පෙදරේරුවා

මිලියන 4ක කප්පම් ඉල්ලූ පෙදරේරුවා

August 21, 2024   01:54 pm

ඉඩම් හිමි විශ්‍රාමික ධනවත් පුද්ගලයෙකුට දුරකථනයෙන් මරණීය තර්ජන කර රුපියල් ලක්ෂ 40ක කප්පම් මුදලක් ලබාගැනීමට උත්සාහ දැරූ පුද්ගලයෙකු බණ්ඩාරගම දී  අත්අඩංගුවට ගත් බව පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි.

එම සැකකරු, විශ්‍රාමිකයාට තර්ජනය කිරීම සඳහා යොදාගත් ජංගම දුරකථනය, සිම් කාඩ්පත් දෙකක්, සැකකරුට කප්පම් මුදල් ලෙස ලබාදීමට සකස් කළ කඩදාසි කොළ අඩංගු කුඩා පාර්සලයක් මෙන්ම යතුරුපැදියක් ද පොලිස් භාරයට ගෙන ඇත.

බණ්ඩාරගම ප්‍රදේශයේ පදිංචි පැමිණිලිකාර විශ්‍රාමික පුද්ගලයා මෙන්ම ඔහුගේ බිරිඳ ට ප්‍රදේශ රැසක ඉඩකඩම් තිබෙන අතර මීට වසර දෙකකට පමණ ඉහතදී ද ඔහුගේ බිරිඳගේ නමට තිබූ හොරණ පෝරුවදණ්ඩ ප්‍රදේශයේ ඉඩමක් රුපියල් කෝටි ගණනාවකට විකුණා තිබූ අතර ඉන් දින කීපයකට පසු පැමිණි තර්ජනාත්මක දුරකථන ඇමතුම් හමුවේ අසරණ වූ එම යුවළ ඇමතුම ලබා දුන් පුද්ගලයාගේ ඉල්ලීම පරිදි ලක්ෂ 40ක කප්පම් මුදලක් ලබාදී ඇති බව මෙම සිදුවීමෙන් පසු අනාවරණය වූ බව පොලීසිය කීය.

ජීවිතයට ඇති ආසාව හේතුවෙන් ඒ සම්බන්ධයෙන් කිසිදු පොලීසියකට පැමිණිල්ලක් නොකළ බව පැමිණිලිකරු පොලිසිය හමුවේ ප්‍රකාශ කර තිබුණි.

බණ්ඩාරගම  ප්‍රදේශයේ ප්‍රසිද්ධ පුද්ගලික සමාගමක් ආසන්නයේ පිහිටා තිබූ පැමිණිලිකරුට අයත් පර්චස් 290ක ඉඩමක් මීට මාසයකට පමණ ඉහතදී රුපියල් කෝටි 8 ක මුදලකට විකුණා තිබේ.

ඉන්  සති දෙකකට පමණ පසු එම සමාගම විසින් එම ඉඩම සමාගමට අයත් බවත් කිසිදු පුද්ගලයෙකුට අනවසරයෙන් ඇතුළු විය නොහැකි බවත් දැන්වීම්  පුවරුවක් ප්‍රදර්ශනය කර ඇතැයි පොලීසිය කියයි.

ඉන් දින කීපයකට පසු පැමිණිකාර විශ්‍රාමිකයාගේ ජංගම දුරකථනයට ඇමතුම් ලබා දී ඇති මීට පෙර කප්පම් ලබාගත් පුද්ගලයා "පැමිණිලිකරු ලබාදුන් කොන්ත්‍රාත්තුවක් ආයුධ ලබාගෙන නිසි අයුරින් ඉටු කළ බව පවසමින්  පොරොන්දු වූ පරිදි මුදල් ලබාදෙන ලෙස" දුරකථන ඇමතුමක් ලබා දී ඇතැයි සඳහන් ය.

එම ඇමතුමෙන් පුදුමයට පත්වූ පැමිණිලිකරු "මොන කොන්ත්‍රාත්තුවක්ද මම දුන්නේ යැයි පැවසීමේදී" ඇමතුම ලබාදුන් සැකකරු ඔහු ළඟ රෙකෝඩින් තියෙනවා "ඔයාට අමතකද ඒ වැඩේ. මම නේද ඒක නැවැත්තුවේ, උන් ආයුධ දෙකක් අරන් මම නේද ඔහේ පස්සෙන් එන එක  නැවැත්තුවේ" යැයි  තර්ජනාත්මක ලෙස පවසමින්, ව්‍යාපාරිකයාව අන්ද මන්ද කරමින් මුදල් ඉල්ලා තර්ජනය කර ඇතැයි පොලීසිය පැවසීය.

මේ අයුරින් එක්දිනක් දුරකථන ඇමතුම් 18 කට වඩා පැමිණ ඇති අතර මේ දක්වා ඇමතුම් 50කට ආසන්න සංඛ්‍යාවක් කප්පම් මුදල් ඉල්ලා තර්ජනය කරමින් විශ්‍රාමික පැමිණිලිකරුට ලැබී ඇතැයි පොලීසිය සඳහන් කරයි.

ඔහුට අවසාන දවස ලෙස ඊයේ (20) දිනය ලබාදී ඇති අතර මුදල් ලබා නොදුන්නොත් ඔලුව කුඩු වෙන්න වෙඩි තබා මරා දමන බවට ද තර්ජනය කර ඇතැයි පොලීසිය කීය.

මෙයින් දැඩි භීතියට පත්වූ විශ්‍රාමිකයා ඒ පිළිබඳව හිතවතෙකුට පැවසීමෙන් අනතුරුව ඔහු විශ්‍රාමිකයාව පානදුර කොට්ඨාස භාර ඡ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී චමිල් රත්නායක මහතා හමුවට රැගෙන ගොස් පැමිණිලි කිරීමෙන් අනතුරුව ක්‍රියාත්මක වූ පොලීසිය කප්පම් ඉල්ලූ සැකකරුව අත්අඩංගුවට ගැනීමට පියවර ගෙන තිබුණි.

ඒ අනුව පැමිණිකාර විශ්‍රාමිකයා ට කප්පම්කරු හා දුරකථනයෙන් සම්බන්ධ වන ලෙස උපදෙස් ලබාදීමෙන් අනතුරුව කප්පම් මුදල් සේ සකස්කළ පාර්සලය ද ඔහු වෙත ලබාදී කප්පම්කරු බණ්ඩාරගමට පැමිණ විශ්‍රාමිකයාගේ අතින් පාර්සලය ලබා ගනිද්දී  අවට සැඟවී සිටි පොලිස් පරීක්ෂකවරයා ඇතුළු පිරිස  සැකකරුව අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී ඔහු පවසා ඇත්තේ මාර්ගයේ රැඳී සිටිමින් සිම්පත් විකුණන පුද්ගලයකුට රුපියල් 5,000ක් ලබාදී  වෙනත් පුද්ගලයෙක්ගේ නමින් ලියාපදිංචි වි සිම්පත් දෙකක් ලබාගෙන මෙම කාර්යය සඳහා යොදාගත් බවය

මෙම කප්පම් සිද්ධියට විශ්‍රාමිකයාගේ පවුලේ සමීප ඥාතියෙකු  සම්බන්ධ ද? අත්අඩංගුවට ගත් සැකකරු කිසියම් අපරාධ කල්ලියකට සම්බන්ධ සාමාජිකයෙක්ද? යන්න සම්බන්ධයෙන් පැති කිහිපයක් ඔස්සේ පරීක්ෂණ පැවැත්වීමට නියමිතය.

සැකකරු මීට පෙර නිදන් හැරීමේ සිද්ධියක් ඇතුළු අපරාධ රැසකට සිරගතව සිට පැමිණි පුද්ගලයකු බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි වාර්තා විය. 

කිරිවත්තුඩුව ප්‍රදේශයේ පදිංචි 58 හැවිරිදි  තිදරු පියෙකු වන සැකකරු පෙදරේරුවෙකි. ඔහුව පානදුර  මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.