වඩිවෙල් සුරේෂ් ට සහ සාහීර් මව්ලානා ට අමාත්‍ය තනතුරු

වඩිවෙල් සුරේෂ් ට සහ සාහීර් මව්ලානා ට අමාත්‍ය තනතුරු

August 21, 2024   04:22 pm

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වඩිවෙල් සුරේෂ් මහතා ට සහ අලි සාහීර් මව්ලානා මහතාට අමාත්‍ය ධුර පිරිනමා තිබේ.

එහිදී අලි සාහීර් මව්ලානා මහතා ට කැබිනට් නොවන සංවර්ධන ව්‍යාපෘති අමාත්‍ය ධුරය පිරිනමා ඇත.

වඩිවෙල් සුරේෂ් මහතා ව පත්කර ඇත්තේ කම්කරු රාජ්‍ය අමාත්‍යවරයා ලෙසය.

ඔවුන් දෙදෙනා අදාළ පත්වීම් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ලබාගත් බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසීය.

වඩිවෙල් සුරේෂ් මහතා බදුල්ල දිස්ත්‍රික්කයෙන් සමගි ජන බලවේගය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පිවිසියේය.

2020 මහ මැතිවරණයේ දී බදුල්ල දිස්ත්‍රික්කය සඳහා සමගි ජන බලවේගය වෙනුවෙන් වැඩිම මනාප හිමිකරගත්තේ ඔහුය.

ඔහු හිමිකරගත් මනාප ඡන්ද ගණන 49,762කි.

තමා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ට සහාය දක්වන බව ඔහු පසුගියදා පැවසීය.

සුරේෂ් මහතා ලංකා ජාතික වතු කම්කරු සංගමයේ ප්‍රධාන ලේකම්වරයා ලෙසද කටයුතු කරයි. 

කම්කරු අමාත්‍ය ධුරය දරූ මනුෂ නානායක්කාර මහතා ට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් හේතුවෙන් අගෝස්තු 09 වනදා සිය පාර්ලිමේන්තු අසුන අහිමි විය.  

එම තීන්දුවේ සඳහන් වූයේ මනුෂ නානායක්කාර සහ හරින් ප්‍රනාන්දු යන අමාත්‍යවරුන්ගේ පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට සමගි ජන බලවේගය ගනු ලැබූ තීරණය නිත්‍යානුකූල බවයි. 

ඒ අනුව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය ධුරයේ කටයුතු කළ මනූෂ නානායක්කාර මහතාට එම ධුරය අහිමිවිය.

මේ අතර මව්ලානා මහතා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වශයෙන් කටයුතු කරයි.

ඔහු පාර්ලිමේන්තුවට පත්වූයේ නසීර් අහමඩ් ට මන්ත්‍රී ධුරය අහිමිවීම හේතුවෙනි.

2023 ඔක්තෝබර් මාසයේ දී ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේ ඒ මහතා ව පක්ෂ සාමාජිකත්වයෙන් නෙරපීමට ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ගත් තීරණය නිවැරදි බවයි.

ඒ අනුව 2023 ඔක්තෝබර් 17 වනදා මව්ලානා මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වශයෙන් දිවුරුම් දුන්නේය.

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නියෝජ්‍ය නායකයා ලෙසද කටයුතු කරන මවුලානා මහතා අගෝස්තු 16 වනදා නිවේදනය කළේ එළැඹෙන ජනාධිපතිවරණය සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දක්වන බවයි.

මේ වනවිට ඔහු සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය විනය ක්‍රියාමාර්ග ගනිමින් තිබෙන බව සඳහන් ය.