අපරාධ සඳහා සහාය දුන් බවට සැකපිට 20කට වැඩි පිරිසක්  අත්අඩංගුවට

අපරාධ සඳහා සහාය දුන් බවට සැකපිට 20කට වැඩි පිරිසක් අත්අඩංගුවට

August 22, 2024   03:17 pm

අත්අඩංගුවට ගත් අපරාධ කල්ලි සාමාජිකයින් දෙදෙනෙකුගෙන් පොලීසිය සිදුකළ දීර්ඝ ප්‍රශ්න කිරීම්වලදී විවිධ අපරාධ සම්බන්ධයෙන් තවත් සැකකරුවන් 21 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට හැකිවී තිබේ. 

විශේෂ පොලිස් කණ්ඩායම් 20ක් යොදවා සිදු කළ මෙහෙයුම්වලදී මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබුණි.

බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් ජා ඇල ප්‍රදේශයේ දී සිදු කළ වැටලීමකදී මත්ද්‍රව්‍ය ග්‍රෑම් 05යි මිලිග්‍රෑම් 200ක් සමග 51 හැවිරිදි අපරාධ කල්ලියකට සම්බන්ධ පුද්ගලයෙකු ප්‍රථමයෙන් අත්අඩංගුවට ගෙන තිබුණි.

එමෙන්ම මීගමුව පොලිස් වසමේ සිදු කළ වැටලීමකදී ද අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 07යි මිලිග්‍රෑම් 220ක් සමග 33 හැවිරිදි සංවිධානාත්මක අපරාධ කල්ලි කණ්ඩායමකට සම්බන්ධ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

ඔවුන්ගෙන් සිදුකළ දීර්ඝ ප්‍රශ්න කිරීම්වලදී සැකකරුවන් 21ක් අත්අඩංගුවට ගෙන ඇති අතර පොලීසිය සැක කරන්නේ මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති පිරිස අපරාධ කල්ලිවලට විවිධ අපරාධ සිදුකිරීම සඳහා සහාය වූ පුද්ගලයන් බවට ය.

2024 මාර්තු මස 19 වනදා සිට ඊයේ (21) දින දක්වා සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් 3,373 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.

රැඳවුම් නියෝග ලබා ගනිමින් අත්අඩංගුවට ගත් සැකකරුවන් සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.