කිසිවෙක් වසර 41කින් නොකළ දස්කමක් කළ මිලාන්

කිසිවෙක් වසර 41කින් නොකළ දස්කමක් කළ මිලාන්

August 22, 2024   03:54 pm

එංගලන්තයට එරෙහිව මැන්චෙස්ටර්හිදී ඊයේ (21) ආරම්භ වූ පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේදී ලෝක ක්‍රිකට් පිටියේ පිතිකරුවෙකු වසර 41කින් අලුත් නොකළ සුවිශේෂී ලෝක වාර්තාවක් අලුත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩක මිලාන් රත්නායක සමත් විය.

සිය මංගල ටෙස්ට් තරගය සඳහා පන්දු යවන්නෙකු ලෙසින් ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉඩක් වෙන්කරගත් මිලාන්, මෙම තරගයේදී අංක 09 පිතිකරු ලෙසින් පන්දුවට පහරදීමට පැමිණ වටිනා ලකුණු 72ක් රැස් කළේය.

කිසිදු කලබලයක් නොමැතිව ඉනිම ගොඩනැගූ මිලාන්, ඒ වෙනුවෙන් පන්දු 135කට මුහුණ දුන්නේය. ඔහුගේ ඉනිමට හයේ පහර 02ක් හා හතරේ පහර 06ක් ඇතුළත් විය.

මිලාන් මෙහිදී නායක ධනංජය සිල්වා සමගින් 08වැනි කඩුල්ලට ලකුණු 63ක් සබඳතාවක් පැවැත් වූ අතර, ඉන් ලකුණු 30කටම ඔහු දායක විය.

එමෙන්ම ශ්‍රී ලංකා ලකුණු පුවරුවේ කඩුලු 08ක් ලකුණු 176ක් තුළ බිඳවැටි තිබියදී විශ්ව ප්‍රනාන්දු සමගින් එක්වූ මිලාන්  ලකුණු පුවරුව 226ක් දක්වා ඉහළට රැගෙන ආවේය.

එහිදී ඔහු විශ්ව සමගින් 09වැනි කඩුල්ලට ලකුණු 50ක සබඳතාවක් පැවැත් වූ අතර, ඉන් ලකුණු 42කටම ඔහු දායක විය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් වරම් දිනාගත් 166වැනි ක්‍රීඩකයා ලෙසින් ජාත්‍යන්තර පිටියට අවතීරණ වූ මිලාන්ගේගේ මෙම ඉනිම සැලකෙන්නේ පිතිකරුවෙකු මංගල ටෙස්ට් තරගයේදී අංක 09 හෝ ඉන් පහළ ස්ථානයක සිට පන්දුවට පහරදීමට පැමිණ රැස්කළ වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙසයි.

මීට පෙර මෙම වාර්තාව ඉන්දීය ක්‍රීඩක බල්වින්දර් සන්දු සතුව තිබූ අතර, ඔහු 1983 වසරේදී පාකිස්තානයට එරෙහිව සිය මංගල ටෙස්ට් තරගයේදී ලකුණු 71ක් රැස්කර තිබුණි.

දකුණත් මදවේග පන්දු යවන්නෙකු වන මිලාන් පළමුපෙළ තරගවලදී හෝ මීට පෙර ලකුණු 72ක් රැස්කර නොතිබූ අතර, අර්ධ ශතක දෙකකට පමණක් හිමිකම් කියන ඔහුගේ ඉහළම පළමු පෙළ ඉනිම වී තිබුණේ ලකුණු 59කි.