පුංචි ඡන්දය ගැන ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුවේ වැඩි විස්තර මෙන්න 

පුංචි ඡන්දය ගැන ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුවේ වැඩි විස්තර මෙන්න 

August 22, 2024   09:31 pm

2023 වසරේ මාර්තු මස 09 වනදා නියමිත පරිදි පළාත් පාලන ඡන්දය නොපැවැත්වීමෙන් එවක මැතිවරණ කොමිසමේ සාමාජිකයින් හා මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය අද (22) තීන්දු කළේය.

ඒ අනුව හැකි ඉක්මනින් පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට පියවර ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය මැතිවරණ කොමිසම වෙත නියම කළේය.

පළාත් පාලන ඡන්ද විමසීම 2023 වසරේ මාර්තු මස 09 වනදා පවත්වන බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව ගැසට් පත්‍රයක් මගින් නිවේදනය කරනු ලැබීය.

එහෙත් එවක පැවති ආර්ථික අර්බුදකාරී තත්ත්වය හමුවේ පනවා තිබූ මූල්‍ය රෙගුලාසි සහ නියමයන් ප්‍රකාරව ඡන්දය සඳහා ප්‍රමාණවත් මුදල් වෙන්කිරීමේ දුෂ්කරතාවක් පවතින බව අදාළ ආයතන සහ මුදල් අමාත්‍යංශය දැනුම්දීමත් සමග ඡන්ද විමසීම අප්‍රේල් මස 25 වන දින දක්වා කල් දැමුණි.

කෙසේවෙතත් ඡන්දය දින නියමයක් නොමැතිව කල් ගිය අතර, ඊට එරෙහිව සමගි ජන බලවේගය, ජාතික ජන බලවේගය, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සහ පැෆ්රල් ආයතනය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කළේය.

ඒ අනුව අදාළ පෙත්සම් විභාගයෙන් අනතුරුව අගවිනිසුරු ජයන්ත ජයසූරිය, විජිත් මළල්ගොඩ, මුර්දු ප්‍රනාන්දු, ගාමිණී අමරසේකර සහ යසන්ත කෝදාගොඩ යන මහත්ම මහත්මීන්ගෙන් සැදුම්ලත් පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල එහි තීන්දුව ප්‍රකාශයට පත් කළේය.

තීන්දුව ප්‍රකාශ කරමින් විනිසුරු ගාමිණි අමරසේකර මහතා පැවසුවේ,

"නිසි කලට ඡන්ද විමසීම නොපැවැත්වීම තුළින් ජනතා පරමාධිපත්‍ය මෙන්ම සර්වජන ඡන්ද අයිතියද උල්ලංඝනය වීම සිදුවෙනවා. නිසි කලට නියමිත පරිදි ඡන්ද පැවැත්වීම මැතිවරණ කොමිසමේ වගකීමක්. එම බලතල ක්‍රියාවේ යොදවා අදාළ ඡන්ද විමසීම පැවැත්වීමට කටයුතු නොකිරීම තුළින් මැතිවරණ කොමිසමේ සාමාජිකයන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14(1) (අ) යන ව්‍යවස්ථාවල සඳහන් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර තිබෙනවා. ඒ අනුව මැතිවරණ කොමිසම තමන්ට පැවරී ඇති බලතලවලට අනුව අවශ්‍ය රජයේ ආයතනවල සහාය ලබාගනිමින් අදාළ ඡන්ද විමසීම පැවැත්විය යුතුයි".

අනතුරුව විනිසුරුවරයා, මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා ඊට දායක වී ඇති බවද පෙන්වා දුන්නේය.

"මෙම ඡන්ද විමසීම පැවැත්වීමට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන වෙන් කිරීම් සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා අමාත්‍ය මණ්ඩලය සමග සාකච්ඡා කොට නැහැ. එසේම අදාළ ඡන්ද විමසීම පැවැත්වීමට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන අනුමත කරගැනීම සම්බන්ධයෙන්ද මුදල් අමාත්‍යවරයා ක්‍රියාකර නැහැ. රජයේ අත්‍යවශ්‍ය වියදම්වලට ප්‍රමුඛතාවක් ලබාදීමට අදාළව අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණයට අදාළ අමාත්‍ය මණ්ඩල තීරණය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නීතියක් වශයෙන් සම්මත වී නොතිබුණු පසුබිමක ඒ යටතේ ඡන්ද විමසීම පැවැත්වීම සඳහා මුදල් ප්‍රතිපාදන නිකුත් නොකිරීම නීති විරෝධියි. මෙහි වගඋත්තරකරුවෙකු ලෙස නම් කර තිබූ මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා කටයුතු කර තිබෙන්නේ මුදල් අමාත්‍යවරයාගේ උපදෙස් මත. ඒ අනුව ඔහු මෙම මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමේ ක්‍රියාවලියට දායක වී ඇති බව තහවුරු කෙරෙන කරුණු අධිකරණය හමුවේ ඉදිරිපත් වී නැහැ".

ඒ අනුව 2023 මාර්තු මස 09 වැනිදා නියමිත පරිදි පළාත් පාලන ඡන්දය නොපැවැත්වීමෙන් එවක මැතිවරණ කොමිසමේ සාමාජිකයින් හා මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.

ඒ අනුව හැකි ඉක්මනින් පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට පියවර ගන්නා ලෙස නියම කළේය.

මෙහිදී අදහස් දැක් වූ මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා

"අපි සෑමවිටම උත්සාහ දැරුවා මේ තියෙන නීතිමය රාමුව තුළ කොහොමද මැතිවරණය පවත්වන්නේ කියන එක සම්බන්ධයෙන්. අපිට අධිකරණය දුන් මේ තීන්දුව කොමිෂන් සභාව ශක්තිමත් වෙනවා. මේ තීන්දුව තුළ ප්‍රකාශ වුණා අනිවාර්යෙන්ම කොමිෂන් සභාව මොනයම් හෝ කාරණාවක් තුළ තමන්ගේ වගකීම පැහැර නොහැර කටයුතු කළ යුතුයි කියලා."