යුද්ධය නතර කරන මාර්ගය මෝදි යුක්‍රේනයේදී හෙළිකරයි

යුද්ධය නතර කරන මාර්ගය මෝදි යුක්‍රේනයේදී හෙළිකරයි

August 24, 2024   04:35 pm

යුක්‍රේනයේ සංචාරයක නිරත ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි රුසියානු - යුක්‍රේන යුද්ධයෙන් මියගිය දරුවන් අනුස්මරණය කිරීමට සහ කියෙව් අගනුවර මහත්මා ගාන්ධි ස්මාර්කය නැරඹීමට එක්වී තිබේ.

මෝදිගේ මෙම සංචාරය සැලකෙන්නේ 1991දී යුක්‍රේනය සෝවියට් සමූහාණ්ඩුවෙන් නිදහස ලබා ගැනීමෙන් පසුව ඉන්දීය 
අගමැතිවරයෙකු යුක්‍රේනයේ සංචාරය කරන පළමු අවස්ථාව ලෙසය.

විදෙස් මාධ්‍ය පවසන්නේ අගමැති මෝදි සහ ජනාධිපති සෙලෙන්ස්කි අතර ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වා ඇති බවය.

නායකයින් අතර සාකච්ඡාවලදී රුසියානු - යුක්‍රේන යුද ගැටුම් ප්‍රමුඛ මාතෘකාව වී තිබේ.

එහිදී රුසියානු ජනාධිපති පුටින් සමග රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡාවක් පවත්වන ලෙසට අගමැති මෝදි යුක්‍රේන ජනාධිපති සෙලෙන්ස්කිට බල කර සිටි බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.

ඒ, සාකච්ඡා මාර්ගයකින් තොරව යුද පිටියේදී පමණක් ගැටුම් නිරාකරණය කළ නොහැකි බවට අවධාරණය කරමිනි.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් යුක්‍රේන ජනපති සෙලෙන්ස්කිට ඉන්දියාවේ සංචාරයකට එක්වන්නැයි ආරාධනා කර තිබෙන අතර සෙලෙන්ස්කි ඊට කැමැත්ත පළකර ඇති බවද සඳහන් ය.

මෙම හමුව පිළිබඳව අදහස් දක්වා ඇති යුක්‍රේන ජනපති සෙලෙන්ස්කි පවසා ඇත්තේ දෙරට අතර උපායමාර්ගික හවුල්කාරිත්වයක් වර්ධනය කරගත යුතු බවය. 

නායකයන් දෙපළ අතර නැවත හමුවීම පිළිබඳව ද සෙලෙන්ස්කි යහපත් ප්‍රතිචාර දක්වා ඇති බව විදෙස් මාධ්‍ය තවදුරටත් වාර්තා කර ඇත.