ජීවිත බිලිගත් මාරක අනතුරු

ජීවිත බිලිගත් මාරක අනතුරු

August 25, 2024   06:59 am

ගෙවී ගිය පැය 24ක කාලය තුළදී ප්‍රදේශ කිහිපයක සිදුවූ රිය අනතුරු කිහිපයකින් කුඩා දරුවෙකු ඇතුළු තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඊයේ (24) එම අනතුරු සිදුව තිබුණේ, චුන්නාකම්, නොච්චියාගම සහ හබරණ යන පොලිස් වසම්වලින්ය.

යාපනය - කන්කසන්තුරේ මාර්ගයේ චුන්නාකම් ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක් රියදුරට පාලනය කර ගත නොහැකිව මාර්ගයේ පරෙළී ගොස් අනතුරක් සිදුව තිබුණි.

එම අනතුරින් ත්‍රිරෝද රථයේ පසුපස අසුනේ මව සමග ගමන්කළ කුඩා පිරිමි දරුවෙකු තුවාල ලබා තෙලිප්පලේ රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇත.

එලෙස මියගොස් ඇත්තේ, දන්ගස්වැව, පුත්තලම ප්‍රදේශයේ පදිංචිව සිටි අවුරුදු 02යි මාස 06ක් වූ කුඩා පිරිමි දරුවෙකි.

මේ අතර නොච්චියාගම - කුකුල්කටුව මාර්ගයේ නෙළුගොල්ලෑව ප්‍රදේශයේදී යතුරුපැදියක් මාර්ගයේ පෙරළී ගොස් සිදුවූ අනතුරකින් යතුරුපැදිකරු මියගොස් තිබේ.

එලෙස මියගොස් ඇත්තේ, අඹගහවැව, නොච්චියාම ප්‍රදේශයේ පදිංචිව සිටි 32 හැවිරිදි  පුද්ගලයෙකි.

මේ අතර පොළොන්නරුව - හබරණ මාර්ගයේ මොරගස්වැව ප්‍රදේශයේදී නාඳුනන වාහනයකින් පුද්ගලයෙකු හප්පා පළා ගොස් ඇත.

මරණකරුගේ අනන්‍යතාවයද මෙතෙක් තහවුරු වී නොමැති බව පොලීසිය පවසයි.

රිය අනතුර සිදුකරන ලද සැකකරු හා වාහනය අත්අඩංගුවට ගැනීම සඳහා හබරණ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.