විශේෂ බලකායේ සිටි අයෙක් මත්ද්‍රව්‍ය සමග කොටුවෙයි

විශේෂ බලකායේ සිටි අයෙක් මත්ද්‍රව්‍ය සමග කොටුවෙයි

August 25, 2024   01:11 pm

යුද හමුදා විශේෂ බළකායෙන් පළාගිය සෙබළෙකු පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. 

පොලිස් විශේෂ කාර්ය බළකායේ සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකයේ නිලධාරින් විසින් මිනුවන්ගොඩ - වේයන්ගොඩ මාර්ගයේ යකටුව ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

පසුගිය 20 වනදා කටුපොත ප්‍රදේශයේදි පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරියෙකු ජීප් රථයක් සමග අනතුරට පත්වූ අවස්ථාවේදී අදාළ නිලධාරියාට පහරදී ජීප් රථයට හානි කිරිමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු මොහු බවද පොලීසිය පවසයි. 

සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු සන්තකයේ තිබි අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 08යි මිලිග්‍රෑම් 500 ක්, යුද හමුදාව භාවිත කරන  නිලඇදුම් කොටස් 05ක් සහ මිලිමීටර් 9 වර්ගයේ ජීව උණ්ඩ 06 ක් ද සොයාගෙන තිබේ.

34 හැවිරිදි සැකකරු කටුපොත - අලහිටියාව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.

අදාළ පහරදීමේ සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් තිදෙනෙකු ද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් නාරම්මල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 26 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.