සජබයේ ප්‍රතිපත්ති ප්‍රකාශය අනිද්දා එළිදකී

සජබයේ ප්‍රතිපත්ති ප්‍රකාශය අනිද්දා එළිදකී

August 27, 2024   07:40 am

සමගි ජන සන්ධානයේ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය අනිද්දා (29) දිනයේ නිකුත් කිරීමට නියමිතව තිබේ.

සමගි ජනබලවේගයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති සුජීව සේනසිංහ මහතා පැවසුවේ, අදාළ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සැලසුම් සියල්ල මේ වන විට අවසන් කර ඇති බවය.

මේ අතර එක් රටක් තුළ උපරිම බලය බෙදීමේ ප්‍රතිපත්තිය සමගි ජනබලවේග රජයක් තුළ ක්‍රියාත්මක කරන බව සමගි ජන සන්ධානයේ ජනාධිපති ධුර අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ත්‍රිකුණාමලය නගරයේ පැවති ජනරැලියකට එක්වෙමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙම අදහස් පළ කළේය.

"උතුරු නැගෙනහිර බලප්‍රදේශ සංවර්ධනය කරන, ජාත්‍යන්තර ආධාරක සමුළුවක් අපි අනිවාර්යයෙන්ම පවත්වලා, උතුරු නැගෙනහිර සංවර්ධනය කරනවා. ඒ වගේම විශේෂයෙන්ම එක රටක් තුළ උපරිම බලය බෙදල ජනතාව බලය බෙදීම තුළින් සවිබල ගන්වා ඒ උපරිම බලය බෙදීම එක රටක් තුළ ක්‍රියාත්මක කිරීම අපේ ප්‍රතිපත්තිය බවට පත්කරනවා. ඒ වගේම පළාත් සභාවලට ලබාදීලා තියෙන ඒ වගකීම අත්තනෝමතික ලෙස මධ්‍යම ආණ්ඩුව උදුරාගත් යුගය අපි නතර කරනවා. ඒ වගේම ජනාධිපතිවරණ ජයග්‍රහණය සමග ඉතා කෙටි කාලයකින් පළාත් සභා මැතිවරණය පවත්වා පළාත් සභා ක්‍රමය නැවත වතාවක් සවිබල ගන්වා උතුරු නැගෙනහිර ප්‍රදේශවලට සංවර්ධනයේ දියුණුව උදාකිරීමට කැපවෙනවා."