සර්වජන අපේක්ෂක දිලිත්ගෙන් සෞඛ්‍ය කේෂ්ත්‍රයට සුබ පණිවුඩයක්

සර්වජන අපේක්ෂක දිලිත්ගෙන් සෞඛ්‍ය කේෂ්ත්‍රයට සුබ පණිවුඩයක්

August 27, 2024   01:08 pm

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පැන නැගී ඇති ගැටලු සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (27) සර්වජන ජනාධිපති අපේක්ෂක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා මුණ ගැසුණි.

සාකච්ඡාවෙන් පසු රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතපාල මහතා පැවසුවේ, සෙසු ජනාධිපති අපේක්ෂකයින්ට සාපේක්ෂව දිලිත් ජයවීර මහතා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටලු ගැන මනා අවබෝධයෙන් පසුවන බවය.

මෙහිදී අදහස් දැක්වු රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම්, වෛද්‍ය ප්‍රභාත් සුගතපාල මහතා,

"දැනට අපි මුහුණදෙන ප්‍රධානතම ගැටලුවක් තමා බුද්ධිගලනය. මේක අපි දැන් අවුරුදු දෙකක විතර ඉඳලා, දිගින් දිගටම දැනුවත් කරනවා. විසඳෙන පාටක් නෑ. අවුරුදු 6ක් 7ක් ගිහින් තමා වෛද්‍යවරයෙක් හැටියට අපි සෞඛ්‍ය කේෂ්ත්‍රයට ගන්නේ. විශේෂඥ වෛද්‍යවරයෙක් ලංකාවේ සාමාන්‍යයෙන් බිහිකරන්න වසර 15ක් විතර යනවා.වෛද්‍යවරු ගියා කියලා ආදේශ කරන්න බෑ. විදෙස් රටවල ගත්තහම සාමාන්‍ය වෛද්‍යවරයෙකුට ලක්ෂ 20ක් විතර වැටුපක් දෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ අපි ආයෝජනය කරලා හදාගන්න විශේෂඥ වෛද්‍යවරු අපි නොමිලේම ඒ රටවලට දෙනවා. දැනට තියෙන ජාතික වැටුප් ප්‍රතිපත්තිය ඇතුළේ සාමාන්‍යයෙන් වැටුප් ගැන දෙයක් කරන්න ගියාම සමස්ත රාජ්‍ය සේවකයින්ම ඒක පිටුපස්සෙන් එනවා. මේ අය රට තුළ රඳවා ගන්න අපි යෝජනා කරන්නේ වෙනම වැටුප් ව්‍යුහයක් වෙන්කරන්න ඕනේ..."

මේ පිළිබඳව අදහස් දැක්වූ සර්වජන ජනාධිපති අපේක්ෂක දිලිත් ජයවීර මහතා,

"මේක ලංකාවේ මානව ප්‍රාග්ධනය එහෙම නැත්නම් මානව සම්පත් කළමනාකරණය පිළිබඳ ප්‍රශ්නයක්. දැන් ලංකාවට නැත්තේ මානව සම්පත් කළමනාකරණය පිළිබඳ රාජ්‍ය උපාය මාර්ගයක්. රටට මානව සම්පත් කළමනාකරණය ගැන උපාය මාර්ගයක් තිබිය යුතුයි. ඒකාබද්ධ සේවාවන් සුවිශේෂිතා අනුව ගලවන්න ඕනේ. රාජ්‍ය සේවය කියලා එකතු කරලා තියෙන්නේ. සාමානතා කිහිපයක් බලලා අසමානතා එකට එකතු කරලා. පොදු කරන්න බැරි දේවල්. සතුටු දැයක් හදන්න නම් අංක එක නිරෝගීමත් ජනතාවයක්. ඒ නිසා නිරෝගීමත්ව තියා ගන්න නම් වැඩියෙන්ම ආයෝජනය කරන්න ඕනේ වෛද්‍යවරුන්ට සහ වෛද්‍ය කේෂ්ත්‍රයට කියලා අපි යෝජනා කරනවා. අත්‍යවශ්‍ය යෝජනා අපි ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා ජාතික උපායමාර්ගික වැඩසටහනට 31 වෙනිදා."

වෛද්‍ය ප්‍රභාත් සුගතපාල මහතා,

"අපි ඇත්තටම ජනාධිපති ධුර අපේක්ෂකයින් 7 දෙනෙක් විතර හමුවුණා. ඔවුන් සමග මේ සාකච්ඡා දිගුව දීර්ඝව සිදුකළා. අනෙක් සාකච්ඡා එක්ක ගත්තහම විද්‍යාත්මක වශයෙන් අපි කියන කාරණා ගැන මෙතුමාගේ යම් අධ්‍යයනයක් තියෙනවා. ඒ කියන්නේ අපි යෝජනා කරන විසඳුම එතුමා විසඳුම විදියට හඳුනාගෙන තිබුණා. ඒක තමා සුවිශේෂීත්වය. ඒක තමා සතුටට කාරණය."