ශිරාන් බාෂික්ගේ පුතා අත්අඩංගුවට

ශිරාන් බාෂික්ගේ පුතා අත්අඩංගුවට

August 28, 2024   08:46 am

ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස සැලකෙන ශිරාන් බාෂික්ගේ පුත්‍රයා වන  වන නදීන් බාෂික් කටුනායක ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු අද (28) උදෑසන ඩුබායි සිට පැමිණෙන අවස්ථාවේදී ගුවන්තොටුපළ අපාරධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සඳහා වැල්ලවත්ත පොලිස් ස්ථානය වෙත භාර දී ඇති බව පොලිස් විශේෂ කාර්ය බළකාය සඳහන් කළේය.

පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරියෙකු අනතුරට ලක්කර පළායාමේ චෝදනාවට නදීන් බාෂික් කටුනායකදී මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.

නදීන් බාෂික් සහ අංගොඩ ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරයෙක් ගමන් කළ වාහනය වැල්ලවත්ත ප්‍රදේශයේ පිහිටි හැව්ලොක්සිටි නිවාස සංකීර්ණය ඉදිරිපිට මාර්ගයේ දී නැවැත්වීමට සංඥා කිරීමේදී රාජකාරි නියුතු විශේෂ කාර්ය බළකා නිලධාරියෙක් අනතුරට ලක් කරමින් පසුගිය පෙබරවාරි මස 16 වනදා පළා ගොස් තිබුණි.

අනතුරුව ප්‍රදේශීය සභා මන්ත්‍රීවරයා විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් අතර අත්අඩංගුවට ගත් ස්ථානයේ රත්තරං පවුම් 100ක්, මෝටර් රථ 03ක් සොයාගත් අතර එහි තිබී හෙරොයින් ග්‍රෑම් 19ක් සොයාගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය සඳහන් කළේය.

එමෙන්ම ජංගම දුරකථනයක්, ලැප්ටොප් පරිගණකයක්, සහ ඩිරාම් මුදල් 535ක් සහ ඩොලර් 161ක් සහ නදින් බාෂික් යන අයගේ නමට තිබූ රියදුරු බලපත්‍රයක්, ඩුබායි රාජ්‍යයෙන් නිකුත් කරනු ලැබූ හැදුනුම්පතක්, ඩුබායි රාජ්‍යයෙන් නිකුත් කරනු ලැබූ රියදුරු බලපත්‍රයක් සහ ගමන් බෑගයක්, මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම සම්බන්ධ ලිපි ලේඛන සොයාගත් අතර වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය වෙත සහ නීතිවිරෝධී වත්කම් විමර්ශන අංශය වෙත යොමුකර තිබුණි.

මත්ද්‍රව්‍ය වැටලීමට අදාළව නදීන් බාෂික් අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් ජනාධිපති නීතිඥයකු ඇතුළු නීතිඥ කණ්ඩායමක් විශේෂ කාර්ය බළකායට සහ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයට විරුද්ධව අධිකරණ නියෝගයක් ද ලබා ගෙන තිබු බව පොලිස් විශේෂ කාර්ය බළකාය සඳහන් කළේය.