සොබාධනවි ජනපති අතින් විවෘත කෙරේ

සොබාධනවි ජනපති අතින් විවෘත කෙරේ

August 28, 2024   10:49 am

ශ්‍රී ලංකාවේ බලශක්ති ක්ෂේත්‍රයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් මෙරට ප්‍රථම ද්‍රවීකෘත ස්වභාවික වායු බලාගාරය ලෙස කෙරවලපිටියේ 'සොබාධනවි' බලාගාරය අද (28) විවෘත කෙරුණි.

ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනි. 

මෙම බලාගාරය මඟින් මෙරට ජාතික විදුලි පද්ධතියට මෙගාවොට් 350ක විදුලි ධාරිතාවක් එක්කර ගැනේ.

ශ්‍රී ලංකාවේ ප්‍රථම ස්වභාවික ද්‍රවීකෘත වායු බලාගාරය වන කෙරවලපිටියේ 'සොබාධනවි' බලාගාරය ඉදිකරනු ලැබුවේ ලක්දනවි සමාගම විසිනි.

ඊට වැය කර ඇති මුළු මුදල අමෙරිකානු ඩොලර් මිලියන 220කි.

මෙහිදී අදහස් දක්වමින් ජනාධිපතිවරයා පවසා සිටියේ, 2050 වනවිට අප දේශගුණික විපර්යාසයට මුහුණදීමේ ඉලක්ක සපුරාගත යුතු වන බවය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා,

"මෙම බලාගාරය ඉදිකිරීම පිළිබඳව මම එල්ටීඑල් (LTL) සමාගමට ප්‍රශංසා කරනවා. එල්ටීඑල් (LTL) සමාගම විසින් මේ වන විට අප රට තුළ බලාගාර රාශියක් ස්ථාපිත කර තිබෙනවා. එහිදි එල්ටීඑල් (LTL) සමාගම ලබාගෙන තිබෙන සාර්ථකත්වය පිළිබඳව මම සතුටු වෙනවා. ඒ වෙනුවෙන් මම ඔබට සුභ පතනවා. මෙම ව්‍යාපෘතිය ඔබ අත්කර ගෙන ඇති ජයග්‍රහණවල අලුත්ම ජයග්‍රහණය බව කිවයුතුයි.

2050 වන විට දේශගුණික විපර්යාස පිළිබඳ වැඩසටහනෙහි නියමිත ඉලක්ක සපුරා ගැනීම සඳහා පුනර්ජනනීය බලශක්තිය අත්‍යවශ්‍ය වෙනවා. පුනර්ජනනීය බලශක්තිය පිළිබඳ අපගේ විශේෂඥතාව වැඩි වන තරමට, ආසියානු කලාපය තුළ මෙන්ම අප්‍රිකාව තුළ අපගේ සාර්ථකත්වය පිළිබඳ පවතින අවස්ථා වැඩි වෙනවා.

සෝබාධනවි බලාගාරය මෙගාවොට් 350ක් උත්පාදනය කරන ශ්‍රී ලංකාව සතුව පවතින වැදගත් බලාගාරයක් බවට පත් වෙනවා. අප දැන් ආර්ථික සංවර්ධනයේ නව අදියරක් ආරම්භ කර තිබෙනවා. විදුලිබලය සහ බලශක්තිය නොමැතිව මෙම සංවර්ධන ඉලක්ක සපුරාගත නොහැකියි. එනිසා අප ඒ පිළිබඳ අවධානය යොමු කළ යුතුයි.
දිවංගත ඩී.ජේ.විමලසුරේන්ද්‍ර මහතා ජල විදුලි උත්පාදනය සඳහා ප්‍රමුඛත්වය දීමත්, ශ්‍රීමත් ජෝන් කොතලාවල මහතා ඒ අනුව ඉදිරියට ගොස් ලක්ෂපාන විදුලිබලාගාර සංකීර්ණය ඉදිකිරීමත් අප ලද භාග්‍යයක් වුණා. ඉන්පසු ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා යටතේ නිදහස් වෙළඳ කලාප සඳහා අතිරික්ත විදුලිය ලබාදුන් මහවැලි සහ

සමනලවැව ව්‍යාපෘති දෙකම ක්‍රියාත්මක කරනු ලැබුවා. මෙම විදුලිබලය නොමැතිව ඇඟලුම් කර්මාන්තය දියුණු කළ නොහැකියි.

අප ජල විදුලිය මත යැපීමේ අවසානය කරා ළඟා වන විට, ගෝලීය දේශගුණික විපර්යාස ප්‍රතිපත්ති සමඟ සමපාත වන නව බලශක්ති ප්‍රභවයන් වෙත පිවිසිය යුතුයි. පුනර්ජනනීය බලශක්තිය මීළඟට ශ්‍රී ලංකාවේ අවධානයට ලක්වන ප්‍රධාන ක්ෂේත්‍රය වෙනවා. ඒ අනුව ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්ති අතිරික්තයක් සහිත නිෂ්පාදකයෙකු බවට පත් කිරීමට අප සැලසුම් කරමින් සිටිනවා. අතිරික්ත බලශක්තිය සඳහා සෑම විටම ඉල්ලුමක් පවතිනවා. යෝජිත ඉන්දියා-සිංගප්පූරු විදුලිබල රැහැන් සම්බන්ධතා මාර්ගය යථාර්ථයක් බවට පත් වුවහොත්, ඒ සඳහා ද අප එක්විය යුතුයි. අනාගතය මෙයයි. ඒ අනුව 1977 ආණ්ඩුවේ පාලනය යටතේ ඇඟලුම් කර්මාන්තය මෙරට ප්‍රධාන ආර්තික වර්ධකය බවට පත් කරගත් ආකාරයට, ඉදිරි දශකය සඳහා අපගේ වර්ධක අංශය බවට පුනර්ජනනීය බලශක්තිය පත්විය යුතුයි.

බලශක්ති ක්ෂේත්‍රය මෙම වර්ධනය තුළ සැලකිය යුතු අංශයක් බවට පත්වෙනවා. අප සතුව ඇති දේ උපරිමයෙන් යොදා ගත යුතු අතර හරිත හයිඩ්‍රජන් පිළිබඳ අප මීළඟට ප්‍රමුඛතාව ලබා දිය යුතුයි.

ඔස්ට්‍රේලියාව හරිත බලශක්තිය පිළිබඳ ලොව සුපිරි බලවතෙකු වීමට කටයුතු කරමින් සිටිවා. පුනර්ජනනීය බලශක්තිය සඳහා අපේ රටට ගිගාවොට් 50ක පමණ ශක්තියක් පවතිනවා. මෙම ශක්තිය භාවිතා කිරීම වැළැක්වීම සඳහා එල්ලවන බාධකවලට අප ඉඩ නොතැබිය යුතුයි.

බලාගාර ඉදිකිරීම කඩිනම් කිරීමටත්, විරෝධතා ඇත්නම් ඒවා කඩිනමින් විසඳා ගැනීමට අවශ්‍ය නව නීති සම්පාදනය කිරීමත් කළ යුතුයි. මෙම ප්‍රවේශය පුනර්ජනනීය බලශක්තියෙන් පමණක් නොව හරිත හයිඩ්‍රජන් වලින්ද අපගේ හැකියාවන් උපරිමයෙන් භාවිතා කිරීමට හේතුවෙනවා.

අපගේ ත්‍රිවිධ හමුදාවන්ට, විශේෂයෙන්ම නාවික හමුදාවට හරිත හයිඩ්‍රජන් භාවිත කිරීමට හැකි නම් ඒ තුළ ඇති හැකියාව පිළිබඳ අවධානය යොමු කරන ලෙස මම ඉල්ලා සිටිනවා. ශ්‍රී ලංකාව හරිත හයිඩ්‍රජන් මගින් බල ගැන්වෙන සැපයුම් මධ්‍යස්ථානයක් බවට පත්වන ආකාරය පිළිබඳ සිතා බලන්න. බලශක්තිය සඳහා පමණක් නොව තාක්ෂණික දියුණුව සඳහා ද බලශක්ති අංශය සතුව විශාල හැකියාවක් තිබෙනවා.

අප සියලු ක්ෂේත්‍ර සමඟ තාක්ෂණය ඒකාබද්ධ කළ යුතුයි. එහිදී අපට දක්ෂ ඉංජිනේරුවන් සහ වෘත්තිකයන් ද අවශ්‍ය වෙනවා. අප සතුව සිටින හොඳම අයගෙන් බොහෝ දෙනෙක් රට හැර යමින් සිටින නිසා රජය නව තාක්ෂණික විශ්වවිද්‍යාල හතරක් පිහිටුවීමට සැලසුම් කර තිබෙනවා. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මැතිතුමා අපට චෙන්නායි IIT හි මණ්ඩපයක් ලබා දීමට එකඟ වී තිබෙනවා. ගලහ ප්‍රදේශයේ ආරම්භ කිරිමට නියමිත මෙම මණ්ඩපය අවසානයේ විශ්වවිද්‍යාලයක් බවට පත් කිරීමට අප බලාපොරොත්තු වෙනවා. පළමු තාක්ෂණ විශ්වවිද්‍යාලය කුරුණෑගලින් ද, දෙවැන්න සීතාවක හෝ කිතුල්ගල ප්‍රදේශයේත්, තුන්වැනි විශ්වවිද්‍යාලය සියනෑ කෝරළයේ ද පිහිටුවීමට සැලසුම් කර තිබෙනවා. මේ සඳහා අපට යොදාගත හැකි ස්ථාන පිළිබඳ සොයාබලමින් සිටිනවා.

මෙම උසස් අධ්‍යාපන ආයතන හතර ඇතුළුව, පේරාදෙණිය සහ මොරටුව විශ්වවිද්‍යාලවල ද පහසුකම් පුළුල් කිරීමට කටයුතු කරන අතර මේ සියල්ල අනෙකුත් ආයතන සමඟ ද එක්ව අපව අනාගතය සඳහා සූදානම් කරනවා. තාක්ෂණයෙන් ඔබ්බට යමින් අප කෘතිම බුද්ධිය සඳහා ද විශාල වශයෙන් ආයෝජනය කරනවා. කෘත්‍රිම බුද්ධිය පිළිබඳ අපගේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරනවා. තාක්‍ෂණ සංවර්ධන පනත් කෙටුම්පත ද ඉක්මනින් සම්මත වනු ඇතැයි මා බලාපොරොත්තු වෙනවා.

අප තාක්ෂණය, හරිත ආර්ථිකය සහ ඩිජිටල් ආර්ථිකය කෙරෙහි අවධානය යොමු කළ යුතුයි. ශ්‍රී ලංකාව නව වර්ධන යුගයකට සූදානම් වන්නේ එවිටයි. මම තවත් ඔබේ කාලය වැය කරන්නේ නැහැ. ඔබගේ සියලු උත්සාහයන්ට මා සුබ පතනවා."