පාතාලය මඩින්න සැරසෙන අනුර

පාතාලය මඩින්න සැරසෙන අනුර

August 28, 2024   01:32 pm

මත්ද්‍රව්‍ය සහ පාතාලය මැඩපවත්වන ආණ්ඩුවක් නිර්මාණය කරන බව ජාතික ජනබලවේගයේ ජනාධිපතිධූර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ජනාධිපතිවරණය ඉලක්ක කර ජාතික ජනබලවේගය පවත්වන ජනරැලි මාලාවේ තවත් ජන රැලියක් ඊයේ (27) දින පස්වරුවේ මීගමුවේදී පැවැත්වූයේ එම පක්ෂයේ ජනාධිපතිධූර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙනි.

එහි දි ජාතික ජනබලවේගය ජනාධිපතිධූර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේ, 

" අපේ රටේ කුඩු සහ පාතාලය එකට තියෙන්නේ. ලංකාවේ කවදාවත් ඈත ඉතිහාසයේ සංවිධානාත්මක අපරාධ කල්ලි හිටියේ නැහැ. අපරාධ සිද්ධ වුණා. සංවිධානාත්මක අපරාධ කල්ලි හිටියේ නැහැ. හැබැයි දැන් අපරාධ තියෙන්නේ කොහොමද? දැන් ඩුබායි සිට ඝාතන මෙහෙයවන්න පුළුවන්. හිරේ ඉඳගෙන කුඩු ව්‍යාපාර මෙහෙයවන්න පුළුවන්. ඒ කියන්නේ දැන් අපරාධ කියන්නේ මොකද්ද?  සංවිධානාත්මක අපරාධ. මේ සංවිධානාත්මක අපරාධ කල්ලි වර්ධනය වුණේ ජනපතිවරු අතින්. ප්‍රාදේශීය වශයෙන් දූෂණය කළේ ප්‍රාදේශීය දේශපාලඥයින්. ඒ නිසා මේ කුඩු සහ මේ පාතාලය සහ දේශපාලනය අතර සබඳතාවයක් තියෙනවා. ඒ නිසා මතක තියාගන්න මේ කුඩු සහ පාතාලය මැඩපවත්වන ආණ්ඩුවක් හදමු. ඒ ආණ්ඩුව තමයි ජාතික ජනබලවේග ආණ්ඩුව."