වව්නියාවේ පාස්පෝට් කන්තෝරුව අසල උණුසුම් තත්ත්වයක්

වව්නියාවේ පාස්පෝට් කන්තෝරුව අසල උණුසුම් තත්ත්වයක්

August 29, 2024   09:42 am

ආගමන විගමන දෙපාර්තමේන්තුවේ වව්නියාව ප්‍රාදේශීය කාර්යාලය ඉදිරිපිට උණුසුම් තත්ත්වයක් හටගෙන ඇති බව වාර්තා වේ.

විදෙස් ගමන් බලපත්‍ර ලබාගැනීමට පැමිණ සිටින ජනතාව පැවසුවේ, ඇතැමෙක් දින තුන හතරකට වැඩි කාලයක් පෝලීම්වල රැඳී සිටින අතර, දිනකට විදෙස් ගමන් බලපත්‍ර 25ක් පමණක් ලබාදෙන බවය.

ඒ හේතුවෙන් අදාළ විදෙස් ගමන් බලපත්‍ර සඳහා ටෝකන් ලබාගැනීමට ජනතාවට දින ගණනක් පෝලීම්වල සිටීමට සිදුව ඇති අතර, ලබාදෙන අංක තැරැව්කරුවන් විසින් ජාවාරම් කිරීමේ තත්ත්වයක්ද උදාවී ඇති බවය.

ජනතාවට විදෙස් ගමන් බලපත්‍ර ලබාගැනීමට පැමිණ, වව්නියාව ප්‍රාදේශීය කාර්යාල ඉදිරිපස කුණු කාණුව මත දින ගණනක් සිටීමට සිදුවීම ඛේදවාචකයක් බව ද ජනතාව පවසති.

පවතින නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කිරීමට වව්නියාව පොලීසිය යෙදවීමට ද සිදුව ඇති අතර, ඊයේ (28) අදාළ ස්ථානයේ ගැටුමක් ද ඇති වී තිබුණි.

එම තත්ත්වය මේ වනවිට පාලනය කර ඇතැයි ද වාර්තා වේ.

ආගමන විගමන දෙපාර්තමේන්තු වව්නියාව ප්‍රාදේශීය කාර්යාලය හරහා දිනකට ලබාදෙන විදෙස් ගමන් බලපත්‍ර ප්‍රමාණය 75ක් දක්වා හෝ වැඩි කිරීමට පියවර ගත යුතු බවත්, ජනතාවට එම ස්ථානයට පැමිණ සිටීමට නිසි ක්‍රමවේදයක් සකස් කළ යුතු බවටත් ජනතාව ඉල්ලා සිටී.

උතුරු පළාත, උතුරු මැද පළාත, නැගෙනහිර පළාත හා වයඹ පළාතේ බොහෝ පිරිසක් විදෙස් ගමන් බලපත් ලබා ගැනීමට ආගමන විගමන දෙපාර්තමේන්තු වව්නියාව ප්‍රාදේශීය කාර්යාලය වෙත පැමිණෙති.