අවාමි ලීගයේ ප්‍රබලයාගේ මළ සිරුර ඉන්දියාවෙන් හමුවෙයි

අවාමි ලීගයේ ප්‍රබලයාගේ මළ සිරුර ඉන්දියාවෙන් හමුවෙයි

August 30, 2024   07:50 pm

බංග්ලාදේශ සිසු අරගලයෙන් පසු බලයෙන් පහ කෙරුණු අවාමි ලීගය පක්ෂයේ ප්‍රබලයෙකුගේ මළ සිරුරක් ඉන්දියාවේ දී සොයාගෙන තිබේ.

බංග්ලාදේශයේ අවාමි ලීගයේ ප්‍රමුඛයෙකු මෙන්ම දැඩි හසීනා හිතවාදියෙකු වන ඉෂාක් අලී ඛාන්ගේ නරක් වූ මළ සිරුර ඉන්දියා - බංග්ලාදේශ දේශසීමාවේ පිහිටි ඉන්දීය මේගලායා ප්‍රාන්තයේ බුලත් වගාවක තිබියදී මෙලෙස හමුව ඇත. 

ගෙල සිරකර ඔහු මරාදමා ඇති බව අනාවරණය වී ඇති අතර මළ සිරුරේ අනන්‍යතාව හෙළිකරගෙන ඇත්තේ ඔහුගේ ගුවන්ගමන් බලපත්‍රයෙනි.

බංග්ලාදේශයේ ඇතිවූ රාජ්‍ය විරෝධී අරගලයෙන් පසුවද එල්ලවූ දැඩි ජනතා විරෝධය හමුවේ ඔහු ඉන්දියාවට පලායමින් සිටියදී මෙලෙස ඝාතනයට ලක්ව ඇති බව පැවසෙයි.

අරගලකරුවන් විරෝධතා අතරතුර පාර්ලිමේන්තුව ආක්‍රමණය කිරීම සහ එරට අධිකරණ ක්ෂේත්‍රයටද අත පෙවීම ආන්දෝලනාත්මක කරුණක් බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

රැකියා කෝටාව පදනම් කරගනිමින් හසීනා රජයට එරෙහිව ඇතිවූ අරගලය පසුව ජාතිවාදී හා ආගම්වාදී මුහුණුවරක් ගනිමින් එරට සුළුතර හින්දු ජාතිකයන් පීඩාවට පත්වීම ලොවපුරා විවේචනයටද ලක්විය.

අන්තර්වාර රජයේ සෞඛ්‍ය අමාත්‍යංශ ප්‍රධානියා පවසා ඇත්තේ, ගෙවුණු ජූලි මාසයේ සිට ක්‍රියාත්මක වූ අරගලය අතරතුර හින්දු ජාතිකයින් දහසකට අධික ප්‍රමාණයක් ඝාතනය වී ඇති බවය.

ඒ අනුව එය 1971 නිදහස් සටනින් පසුව බංග්ලාදේශ ඉතිහාසයේ වාර්තා වූ දරුණුතම ලේ වැගිරීම ලෙස මෙය වාර්තා වී තිබේ.