තිදරු මවක් ව ඝාතනය කරයි

තිදරු මවක් ව ඝාතනය කරයි

August 31, 2024   08:38 am

නාන්නේරිය පොලිස් වසමේ පයිරික්කුලම ප්‍රදේශයේ නිවසක පදිංචිව සිටින තම මව දුරකථනයට ප්‍රතිචාර නොදැක්වීම හේතුවෙන් ඒ සම්බන්ධව සොයා බලන ලෙසට ඇයගේ පුතා විසින් ඊයේ උදෑසන අසල්වාසී පුද්ගලයෙකුට දැනුම්දී ඇත. 

ඒ අනුව එම පුද්ගලයා විසින් අදාළ නිවසට යාමේදී නිවසේ පිටුපස දොර විවෘත කර තිබීම හා නිවස තුළින් දුඟදක් හැමීම හේතුවෙන් සැක සිතී ඒ සම්බන්ධව නාන්නේරිය පොලීසියට දැනුම් දී තිබේ.

එම දැනුම්දීම මත පොලිස් නිලධාරීන් කණ්ඩායමක් එම නිවසට ගොස් පරීක්ෂා කර බැලීමේදී නිවස තුල තිබී එම කාන්තාවගේ මෘත ශරීරය හමුවී ඇත.

මරණකාරිය වයස අවුරුදු 62 පයිරික්කුලම, නාන්නේරිය ප්‍රදේශයේ පදිංචිකාරියකි.

සිදු කරන ලද විමර්ශනයේදී මෙම කාන්තාව දින කිහිපයකට පෙර මියගොස් ඇති බවට හා මෙය මනුෂ්‍ය ඝාතනයක් බවට නිරීක්ෂණය වී තිබුණි. 

මෘත ශරීරය අසල තිබී පොරවක් ද හමුවී ඇත. 

මරණකාරියගේ පුරුෂයා මීට පෙර මියගොස් ඇති අතර, ඇයගේ දියණියන් දෙදෙනා සහ පුත්‍රයා නිවසින් බැහැරව රැකියා වල නිරත වන බවත් මරණකාරිය පමණක් නිවසේ ජීවත්ව සිට ඇති බවත් පොලීසිය පැවසීය.

නාන්නේරිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.