සහාය දිවීමේ කණ්ඩායමේ පදක්කම් සිහිනය බොඳවෙයි

සහාය දිවීමේ කණ්ඩායමේ පදක්කම් සිහිනය බොඳවෙයි

August 31, 2024   11:37 am

පේරු රාජ්‍යයේ ලීමාහිදී පැවැත්වෙන ලෝක ශූරතා කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ මීටර 4x100 පිරිමි සහාය දිවීමේ තරගයට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායමට එහි අවසන් තරගයට සුදුසුකම් ලබාගැනීමට තිබූ අවස්ථාව අහිමිව ගියේය.

මෙරට වේලාවෙන් ඊයේ (30) රාත්‍රියේදී මෙහි මූලික වටයේ තරග පැවැත්විණි.

එහි දෙවැනි මූලික තරගය (Heat 2) යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම තරග වැදුණි.

එහිදී ඔවුන් තත්. 40.14කින් තරගය අවසන් කර එම වටයේ දෙවැනි ස්ථානය දිනාගැනීමට සමත් විය.

කෙසේ නමුත් මෙහි තරග නීතිය අනුව මූලික වට 04කින් සමන්විත මෙම තරග ඉසව්වේ, අවසන් තරගයට ඍජුවේ සුදුසුකම් ලබාගැනීමට අවස්ථාව හිමිවන්නේ සෑම මූලික තරගයකම ප්‍රථම ස්ථාන හිමිකරගත් කණ්ඩායම් 4ට පමණි.

එමෙන්ම ඉතිරි කණ්ඩායම් 4 තෝරාගනු ලබන්නේ සියලු මූලික තරග අවසන් වීමෙන් පසුවය. 

සියලු වට අවසන් වද්දී හොඳම කාලය වාර්තාකළ කණ්ඩායම් සඳහා එම අවස්ථාව හිමි වේ.

ඒ අනුව ශ්‍රී ලංකාව දැක්වූ කාලය අනුව ඔවුන්ට හිමි වූයේ රටවල් 30කට ආසන්න සංඛ්‍යාවකින් 10වැනි ස්ථානයයි.

ශ්‍රී ලංකා කණ්ඩායම මලිත් තමෙල්, දිනෙත් ඉඳුවර, ඉදුසර විදුශාන් හා මෙරෝන් විජේසිංහ යන ක්‍රීඩකයන්ගෙන් සමන්විත විය.