දකුණු අප්‍රිකාවේදී ශ්‍රී ලංකා A කණ්ඩායමට විශිෂ්ට ජයක් 

දකුණු අප්‍රිකාවේදී ශ්‍රී ලංකා A කණ්ඩායමට විශිෂ්ට ජයක් 

September 1, 2024   04:03 pm

ශ්‍රී ලංකා ඒ ක්‍රිකට් කණ්ඩායමේ දකුණු අප්‍රිකානු තරග සංචාරය ආරම්භ කරමින් පැවති පළමු නිල-නොවන එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 93ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

මෙරට වේලාවෙන් ඊයේ (31) රාත්‍රියේදී අවසන් වූ මෙම තරගය Potchefstroomහිදී පැවැත්විණි.

කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකානු නායක Matthew Breetzke පළමුව පන්දුවට පහරදීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට ලබාදුන් අතර, ඒ ඇරයුමෙන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 50 තුළදී කඩුලු 9ක් දැවී ලකුණු 298ක් රැස්කිරීමට සමත් විය.

එහිදී අංක 03 පිතිකරු ලෙසින් පන්දුවට පහරදීමට පැමිණි නුවනිඳු ප්‍රනාන්දු ලකුණු 97ක් රැස්කරගෙන සිටියදී දැවී ගියේය.

පන්දු 101කින් ගොඩනැගුනු නුවනිඳුගේ ඉනිමට හතරේ පහර 08ක් හා හයේ පහරක් ඇතුළත් විය.

නුවනිඳුට අමතරව ආරම්භක පිතිකරු කමිල් මිශාර ලකුණු 71ක් රැස්කළ අතර, ඔවුන් දෙදෙනා දෙවැනි කඩුල්ලට ලකුණු 101ක සබඳතාවක්ද පැවැත්වූහ.

ඔවුන්ට අමතරව ශ්‍රී ලංකා පසුපෙළ ශක්තිමත් කළ චමිඳු වික්‍රමසිංහ ප්‍රහාරාත්මක ලකුණු 55ක් රැස්කිරීමට සමත් විය.

පන්දු 39කින් ගොඩනැගුණු චමිඳුගේ ඉනිමට හයේ පහර 03ක් හා හතරේ පහර 04ක් ඇතුළත් විය.

දකුණු අප්‍රිකාව වෙනුවෙන් Andile Phehlukwayo (3/38) හා Tristan Luus (3/72) කඩුලු 03 බැගින් බිඳදැමීමට සමත් විය.

මෙහිදී ලකුණු 299ක ඉලක්කයක් හඹාගිය දකුණු අප්‍රිකානු ඒ කණ්ඩායමට පන්දුවාර 36.5ක් තුළදී සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 205ක් පමණි.

දකුණු අප්‍රිකානු ඉනිමේ වැඩිම ලකුණු ලාභියා මෙන්ම එකම අර්ධ ශතක ලාභියා වූ  Tony de Zorzi පන්දු 48කට මුහුණදෙමින් ලකුණු 53ක් රැස්කිරීමට සමත් විය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් කැපී පෙනෙන පන්දු යැවීමක නිතර වූ වනුජ සහන් (3/41) හා දුෂාන් හේමන්ත (3/34) කඩුලු 03 බැගින් දවාගත්හ.

දෙරට අතර දෙවැනි එක්දින තරගය හෙට (02) පැවැත්වීමට නියමිතව ඇත.

තරගයේ වීරයා ලෙසින් නුවනිඳු ප්‍රනාන්දු සම්මාන දිනාගත්තේය.