ලංකාවට ගෙන ඒමට සූදානම් කර තිබූ මත්ද්‍රව්‍ය තොගය

ලංකාවට ගෙන ඒමට සූදානම් කර තිබූ මත්ද්‍රව්‍ය තොගය

September 1, 2024   08:21 pm

ඉන්දියාවේ සිට මෙරටට ගෙන ඒමට සූදානම් කර තිබූ කිලෝග්‍රෑම් 10කට අධික අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග පුද්ගලයින් 6 දෙනෙකු චෙන්නායිහිදී අත්අඩංගුවට ගෙන තිබේ.

ඉන්දීය ආදායම් බුද්ධි ඒකකයට ලද තොරතුරකට අනුව පසුගිය දිනවල සිදුකළ වැටලීමක දී චෙන්නායි දකුණු පොතෙරි ප්‍රදේශයේ මෝටර් රථයක සඟවා තිබියදී මෙම මත්ද්‍රව්‍ය තොගය සොයාගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

එහිදී ඉන්දීය රුපියල් කෝටි 50කට අධික වටිනාකමකින් යුත් අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 10යි ග්‍රෑම් 130ක් සොයාගෙන ඇත.

අදාළ මත්ද්‍රව්‍ය තොගය රාමේශ්වරම් සිට මුහුදු මාර්ගයෙන් ශ්‍රී ලංකාවට ගෙන ඒම සඳහා සූදානම් කර තිබූ බව ඉන්දීය ආරක්ෂක අංශ පවසයි.

එම වැටලීමේ දී පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වල දී මෙම ජාවාරමට සම්බන්ධ තවත් පුද්ගලයින් තිදෙනෙකු එරට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් එම පිරිස අතර මෙම ජාවාරමේ ප්‍රධාන සැකකරු සහ අදාළ මත්ද්‍රව්‍ය තොගය සැපයූ පුද්ගලයා ද වන බව සඳහන් වේ.