වාහනවල දේශපාලන දැන්වීම් ප්‍රදර්ශනය කිරීම නීතිමය වරදක්ද?

වාහනවල දේශපාලන දැන්වීම් ප්‍රදර්ශනය කිරීම නීතිමය වරදක්ද?

September 2, 2024   10:31 pm

වාහනවල දේශපාලන පක්ෂවල ප්‍රචාරණ දැන්වීම් අලවාගෙන සිටීම නීතිය ඉදිරියේ වරදක් බවත්, එවන් දැන්වීම් අලවා තිබෙන වාහන පරීක්ෂාකර ගලවා ඉවත් කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසීය.

වාහනවල දේශපාලන ප්‍රචාරණ දැන්වීම් ප්‍රදර්ශනය කිරීම සම්බන්ධයෙන් පැමිණිලි රැසක් ලැබී තිබෙන බවට මැතිවරණ කොමිෂන් සභාව විසින් මේ වනවිට පොලිසිය දැනුම්වත් කර ඇති බවද හෙතෙම පැවසීය.

මෙහිදී නිහාල් තල්දූව මහතා වැඩිදුරටත් කියා සිටියේ, පොලිසිය විසින් දැන්වීම් ගලවා ඉවත්කිරීමේදී එම දැන්වීම් තදින් අලවා තිබුණහොත් වාහනයට වුවද හානි සිදුවිය හැකි බවය.

එනිසා පොලීසිය මැදිහත්ව එම කටයුත්ත සිදුකිරීමට පෙර වාහන හිමිකරුවන්ම ඒවා ඉවත්කරගන්නා ලෙසද ඔහු දන්වා සිටියේය.

"අපි ප්‍රථමයෙන්ම කරන්නේ ගලවා ඉවත් කිරීම. සමහර වෙලාවට කියන්න පුළුවන් හදිසි ගමනක් යන්නේ, තම දරුවා පාසලට රැගෙන යන්නේ වගේ විවිධ දේවල්. නමුත් ඒ මොනවා කිව්වත් සමාවට කාරණයක් විදියට ගන්නේ නැහැ. මාර්ගයේදී නතර කළොත්, ඒ වාහනයේ යම්කිසි ආකාරයකට ස්ටිකර්ස් හරි පොස්ටර්ස් හරි තියෙනවානම් අපි අනිවාර්යයෙන් ගලවා ඉවත් කරනවා. ඒවා ගලවනකොට තදින් අලවලා තියෙනවානම් වාහනයට වුණත් හානි සිද්ධ වෙන්න පුළුවන්. ඒ නිසා වහාම ඔබ ඔබගේ වාහනවල මේවා අලවලා තිබෙනවා නම් පොලීසිය මැදිගත් වෙලා ඉවත්කරගන්න කලින් ඔබට පුළුවන් නිදහසේ ගලවා ඉවත් කරන්න".

මේ අතර ඇඹිලිපිටිය ප්‍රදේශයේ අනීතික ව ඡන්දයක් පවත්වන ආකාරයට සැකසූ වීඩියෝවක් සමාජ ජාලවලට යොමුකර තිබීමක් සම්බන්ධයෙන්ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාගෙන් මාධ්‍යවේදීන් විමසීමක් කළේය.

එහිදී ඒ මහතා පවසා සිටියේ ඒ සම්බන්ධයෙන් පුද්ගලයන් තිදෙනෙකුගෙන් පමණ ප්‍රකාශ සටහන් කර තිබෙන බවත්, අද දිනයේදී ඒ ගැන ඇඹිලිපිටිය මහෙස්ත්‍රාත් අධිකරණයටද කරුණු වාර්තා කළ බවය.

එමෙන්ම තවදුරටත් සැකකරුවන් කිහිප දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට තිබෙන බවද ඔහු පැවසීය.

මේ අතර උපකාරක පන්ති තුළද අනීතිකව ඡන්දය ප්‍රකාශ කිරීම් කටයුතු සිදුවන බවට තොරතුරු වාර්තා වුවත්, මෙතෙක් ඊට අදාළ පැමිණිල්ලක් ලැබී නැති බවද හෙතෙම පැවසීය.

කෙසේ නමුත් ඒ සම්බන්ධයෙන් මැතිවරණ කොමසාරිස්වරයා වෙත ඒ සම්බන්ධයෙන් යම්කිසි පැමිණිල්ලක් ලැබී තිබුණොත් ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කරන බව ඔහු පෙන්වා දුන්නේය.