ගුටි කෙළිය මරණයෙන් කෙළවර වෙයි

ගුටි කෙළිය මරණයෙන් කෙළවර වෙයි

September 3, 2024   08:14 am

දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක් හේතුවෙන් පුද්ගලයන් කිහිපදෙනෙකු තුවාල ලබා අනුරාධපුර රෝහලට ඇතුළත් කිරීමේදී එක් පුද්ගලයෙකු මියගොස් තිබේ.

ඊයේ (02) එම සිදුවීම වාර්තා වී තිබුණේ පරසන්ගස්වැව පොලිස් වසමේ පයිරික්කුලම ප්‍රදේශයෙනි.

එලෙස මියගොස් ඇත්තේ, තන්නායන්කුලම්, අනුරාධපුර ප්‍රදේශයේ  පදිංචිව සිටි 30 හැවිරිදි තරුණයෙකි.

මරණකරු පරසන්ගස්වැව, මිහිඳු මාවත ප්‍රදේශයේ තම මිතුරෙකුගේ නිවසේ රැඳී සිටින අවස්ථාවේදී මිතුරා සමඟ අමනාපව සිටි තවත් පිරිසක් ඔහුගේ නිවසට පැමිණ ආරවුලක් ඇති කරගෙන ඇත.

එහිදී තියුණු ආයුධවලින් දෙපිරිසම පහරදීමක් සිදුකරගෙන ඇති බව පොලීසිය පවසයි.

ගැටුමෙන් තුවාල ලැබූ දෙපාර්ශවයේම සිව්දෙනෙකු අනුරාධපුර රෝහලට ඇතුළත් කර ඇති අතර, එහිදී තරුණයා මියගොස් තිබේ.

අපරාධය සම්බන්ධයෙන් තුවාල ලබා රෝහලේ ප්‍රථිකාර ලබමින් සිටින පුද්ගලයන් දෙදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. 

පරසන්ගස්වැව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

මේ අතර රත්ගම, සිරිකඳුරවත්ත ප්‍රදේශයේ තියුණු ආයුධයකින් පහරදීමක් හේතුවෙන් තුවාල ලැබූ පුද්ගලයෙකු ආරච්චිකන්ද රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් තිබේ.

ඊයේ සවස් කාලයේදී එම ඝාතනය සිදුකර ඇති බව පොලීසිය පවසයි.

එලෙස මියගොස් ඇත්තේ, රළජයපුර, සිරිකඳුරවත්ත ප්‍රදේශයේ පදිංවිව සිටි 25 හැවිරිදි තරුණයෙකි.