අද දිනය ඉතාම සාමකාමී - සමන් ශ්‍රී රත්නායක

අද දිනය ඉතාම සාමකාමී - සමන් ශ්‍රී රත්නායක

September 4, 2024   09:53 pm

2024 ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමේ කටයුතු අද (04) උදෑසන ආරම්භ කෙරුණි. 

ඒ අනුව අද ඊට අවස්ථාව හිමිවූයේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල, මැතිවරණ කාර්යාලවල රාජ්‍ය සේවකයන්ට සහ පොලිස් නිලධාරීන්ටය.

අද පෙරවරු 9ට ඡන්ද සලකුණු කිරීම ආරම්භ කෙරුණි.

නොවැළැක්විය හැකි හේතුවක් මත අද (04) තැපැල් ඡන්දය භාවිත කිරීමට නොහැකි වන ඡන්දදායකයින්ට සැප්තැම්බර් 11 සහ 12 වනදා අතිරේක දින දෙක හිමිවෙයි. 

සෙසු රාජ්‍ය ආයතන, පාසල් සහ අනෙකුත් ආරක්ෂක ආයතන නිලධාරීන්ට තැපැල් ඡන්දය සලකුණු කිරීමට හෙට (05) සහ අනිද්දා (06) දෙදින වෙන් කර තිබේ.

අද පස්වරු 4න් අවසන් වූ තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමේ කටයුතු පිළිබඳ මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා ප්‍රකාශ කළේ,

"අද දිනයේ සියලුම තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමේ ස්ථානවල සාමකාමී තත්ත්වයක් පවත්වාගෙන ගොස් තිබෙන්වා. මේ තැපැල් ඡන්ද ගණන් කිරීම සිදුවෙන්නේ සැප්තැම්බර් 21 වනදා සවස 4න් පසුව." 

මෙවර තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට රාජ්‍ය සේවකයින් 736,589 දෙනෙක් ඉල්ලුම්පත් භාර දී තිබුණි.

ඒ අතරින් ඉල්ලුම්පත් 24,270ක්  ප්‍රතික්ෂේප වී ඇති අතර 712,319 දෙනෙකු‍ තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා සිටී.