වෙනස දෙස වෙනස්ව බලන්නැයි දිලිත්ගෙන් ඉල්ලීමක්

වෙනස දෙස වෙනස්ව බලන්නැයි දිලිත්ගෙන් ඉල්ලීමක්

September 5, 2024   07:26 am

රටේ ජනතාව සඳහා නව වැඩපිළිවෙලක් ඉදිරිපත් කර ඇති එකම කණ්ඩායම තම කණ්ඩායම බව සර්වජන ජනාධිපති ධුර අපේක්ෂක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ, ජනාධිපතිවරණයට ඉදිරිපත් වී ඇති සියලු පක්ෂ සිය පැරණි ප්‍රතිපත්ති යළි වරක් ජනගත කිරීමට උත්සාහ දරමින් සිටින බවය.

කොළඹ දී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සර්වජන බලයේ ජනධිපති ධුර අපේක්ෂක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා මේ බව සඳහන් කළේය.

"රට ඉල්ලා සිටිනවා අලුත් දෙයක්. ඒ වෙනුවෙන් අපි පෙනී සිටිනවා. වෙනස් දෙයක් වෙන කවුරුත් යෝජනා කරලා නෑ. අපේ උපායමාර්ගික වැඩපිළිවෙල තුළ වෙනස් දෙයක් යෝජනා කරලා තියෙනවා. මේ වෙනස් දේ දෙස වෙනස්ව බලන්නයි ලංකාවේ ආදරණීය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ."

ප්‍රශ්නය - වෙනසක් බලාපොරොත්තුව තමා NPP එක පිටුපස යන්නෙත්. ඔබ ඒ වෙනසට වෙනසක් දෙන්න ලෑස්තිද ?

"මම අහන්නේ ජනතා විමුක්ති පෙරමුණ කියන වෙනස මොකද්ද ? දැන් ඔය ප්‍රතිපත්ති ප්‍රකාශයේ නැත්නම් කොහේ ද ඔය වෙනස තියෙන්නේ ? අනුර කුමාරගේ කතාවේ නැත්නම් කොහේ ද ඔය වෙනස තියෙන්නේ. අර වේදිකාවේ කෑගහන්නේ පරණ විදියටම වෛරය වපුරවමින් නම්, ඔවුන් කිසිම උපාය මාර්ගයක් යෝජනා කරන්නෙත් නැත්නම්, ඔහු විටින් විට කියලා තියෙන විදියටම වැල් පාලමේ ඉතුරු ටික යන්න ඕනේ කියනවා නම්. ඔවුන් සමග සිටින ලාල්කාන්ත, හරිනි, විජිත හේරත්, හඳුන්නනෙත්ති සියලුදෙනාම කතා කරන්නේ පරණ වැඩේම වෙනත් විදියට ඊටත් වැඩිය ද්වේෂයක් එක්ක කරන්න නම් කොහොම ද මිනිස්සු විශ්වාසය තියන්නේ."