අගෝස්තු මාසයේ ක්‍රීඩකයාට දුනිත්ව නිර්දේශ කරයි

අගෝස්තු මාසයේ ක්‍රීඩකයාට දුනිත්ව නිර්දේශ කරයි

September 5, 2024   04:55 pm

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් ප්‍රකාශයට පත්කරනු ලබන  'මාසයේ ක්‍රීඩකයා' සම්මානය සඳහා ශ්‍රී ලංකා යොවුන් තුන්ඉරියව් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේගේ නමද නිර්දේශ කර ඇත.

ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් වරට ක්‍රීඩාකළ ඉන්දියාවට එරෙහි එක්දින තරගාවලියේදී දුනිත්ගේ දක්ෂතා තුන් ඉරියව්වෙන්ම කැපී පෙනුණි.

එක්දින තරගාවලියේ වීරයා ලෙසින් ද සම්මාන දිනාගත් දුනිත්, එම තරගාවලියේදී අර්ධ ශතකයක් (නොදැවී 67) සමගින් ලකුණු 108ක් රැස් කළේය.

එම තරගාවලියේ දෙවැනි වැඩිම කඩුලු දවාගත් පන්දු යවන්නා ද වූ දුනිත්, සිය එක්දින දිවියේ හොඳම පන්දු යැවීම සනිටුහන් කරමින් ලකුණු 27කට කඩුලු 05ක් දවාගැනීමට සමත් විය.

දුනිත් සමගින් අගෝස්තු මාසයේ ක්‍රීඩකයා සඳහා නිර්දේශ වී සිටින සෙසු ක්‍රීඩකයන් දෙදෙනා වන්නේ දකුණු අප්‍රිකාවේ කෙෂාව් මහරාජ් හා බ.ඉ. කොදෙව් ක්‍රීඩක ජේඩ්න් සීල්ස්ය.

ඉන් මහරාජ් බ.ඉ. කොදෙව්වන්ට එරෙහි තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේදී කඩුලු 13ක් දවාගනිමින් තරගාවලියේ ජය දකුණු අප්‍රිකාවට දිනා දීමට සඳහා සුවිශේෂී දායකත්වයක් දැක්වීය.

ඒ හේතුවෙන් ඔහු තරගාවලියේ වීරයා ලෙසින්ද සම්මාන දිනාගත්තේය.

එමෙන්ම ආබාධයකට ලක් වූ කෙමාර් රොච් වෙනුවට කැඳවනු ලැබූ වේගපන්දු යවන ජේඩ්න් සීල්ස් ද, දකුණු අප්‍රිකාවට එරෙහි එම තරගාවලියේදී කඩුලු 12ක් දවාගනිමින් පන්දු යැවීමෙන් දක්ෂතා දැක්වීය.