උතුර දකුණ මාරුවුණු අයට ඡන්දෙ දුන්නොත් රට යම ලොවට - දිලිත් 

උතුර දකුණ මාරුවුණු අයට ඡන්දෙ දුන්නොත් රට යම ලොවට - දිලිත් 

September 5, 2024   10:13 pm

ජනාධිපතිවරණ අපේක්ෂකයින් විවිධ ප්‍රතිපත්ති ප්‍රකාශ ඉදිරිපත් කර ඇති නමුත් ජනතාවගේ ජීවිතය යහපත් කිරීමේ කිසිදු කරුණක් හෝ එහි සඳහන්ව නොමැති බව සර්වජන ජනාධිපති ධුර අපේක්ෂක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා පවසයි.

ඔහු මේ බව පැවසුවේ ''දිලිත් ගමට'' ආසන රැස්වීම් මාලාව යටතේ කැස්බෑව ප්‍රදේශයේ අද (05) පස්වරුවේ පැවති ජනහමුවට එක් වෙමිනි. 

"ඔය ඉදිරිපත් වෙලා ඉන්න මේ හතර පස්දෙනාම පොත් ගහලා තියනවා... ප්‍රතිපත්ති ප්‍රකාශ කියලා. කොළ පාටිනුත් ගහලා තියනවා, දම් පාටිනුත් ගහලා තියනවා, කොළ පාටයි කහ පාටිනුත් ගහලා තියනවා. එහි ඔබගේ ජීවිතය වෙනස් කරන එක වාක්‍යක්වත් නැහැ. මේ අය පුරුද්දක් විදිහට පොත් ගහලා බෙදලා දීලා ඔබව රැවටීමේ ව්‍යාපාරය දිගටම පවත්වාගෙන යනවා. 

අරගලයෙන් පස්සේ ඔක්කොම දිව්ව නිසා තමන් ආවා කියපු අපේ ජනාධිපතිතුමා ගෑස් මිල 4 ගුණයකින් වැඩි කළා. තෙල් මිල 4 ගුණයකින් වැඩි කළා, විදුලි බිලත් හතර ගුණයකට ආසන්න ප්‍රමාණයකින් වැඩි කළා. වැඩි කරලා කිව්වා... බලන්න මං ආවට පස්සේ පෝලිම් නැහැ කියලා. ලංකාවේ ගෑස් පරිභෝජනය 40%කින් අඩුවෙලා. අන්න ඒ ගෑස් සිලින්ඩරය උස්සගෙන ඇවිල්ලා තමයි ගහන්න කියන්නේ කතිරේ. මේ සාම්ප්‍රදායික දේශපාලන ක්‍රමය දිගටම කරගෙන ගිය නිසා තමයි අද මේ රටට කෙළවෙලා ගියත් හරි අර මොකක්ද උතුරු දකුණ මාරුවෙලා ගිය එකකට ගහනවා කියලා මිනිස්සු කියන්නේ. හැබැයි ඒකට ගැහුවොත් වෙන්නේ තුන්වෙනි ලෝකේ රට යම ලෝකෙට යන එකයි. ඒකයි අපි කියන්නේ ඒකට ගහන්න එපා ඔබේ වටිනා ඡන්දය."