රුපියල් 10,000කට සිදුකළ මිනී මැරුම 

රුපියල් 10,000කට සිදුකළ මිනී මැරුම 

September 6, 2024   03:52 pm

රුපියල් 10,000ක් ඉල්ලා එය නොදුන්නැයි උරණ වී 80 හැවිරිදි කාන්තාවකගේ ගෙල පාගා හුස්ම හිරකොට ඝාතනය කළ සැකකරුව ලබන 19 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස හෝමාගම මහෙස්ත්‍රාත් රජීන්ද්‍රා ජයසුරිය මහත්මිය නියෝග කළාය.

සැකකරු ත්‍රිරෝද රථයකින් බැස එම කාන්තාවගේ නිවසට පැමිණෙන අයුරු සහ එම කාන්තාවගෙන් ගලවාගත් කරාබු යුගලය හෙට්ටිවිථීයේ සාප්පුවකට  විකුණන අයුරු සීසීටීවී පද්ධතියක සටහන් ව තිබු බවද පොලීසිය පැවසීය.

සැකකරු ඝාතනය ට ලක්වූ කාන්තාවගේ දියණියගේ සැමියාට අයත් ගොඩනැගිලි ද්‍රව්‍ය ආයතනයක වැඩකළ සේවකයෙකි.

ඔහු නිවසට යන බව පවසා නිවාඩු ගෙන නිවසේ කිසිවෙකුත් නොමැති අවස්ථාවේදී කොට්ටාව මාලබේ පාරේ හතරමං හන්දිය ආසන්නයේ පිහිටි නිවසට පැමිණ එහි සිටි කාන්තාවගෙන් රුපියල් 10,000 ඉල්ලා තිබුණි.

ඇය එම මුදල ලබානොදීම නිසා උරණ වී එම කාන්තාවගේ කරාබු යුගලය ගලවා ගැනීමට උත්සාහ කර තිබේ. 

එම අවස්ථාවේදී සැකකරු කාන්තාව බිම දමා පාදයෙන් ගෙල පාගා හුස්ම හිර කොට ඝාතනය කර ඇය පැළඳ සිටි කරාබු යුගලය ගලවාගෙන ගොස් හෙට්ටි විථියේ රන් භාණ්ඩ අලෙවිසැලකට එය විකුණා රුපියල් 5,000ක් ගෙන නිවසට ගොස් තිබේ.

එම සැකකරු ආණමඩුව ප්‍රදේශයේ පුද්ගලයෙකි. ඔහුව නිවසේදී අත්අඩංගුවට ගෙන තිබුණි.