මෙතෙක් දිනපු අය පොතේ විදියට වැඩේ කළා ද? - දිලිත් අසයි 

මෙතෙක් දිනපු අය පොතේ විදියට වැඩේ කළා ද? - දිලිත් අසයි 

September 6, 2024   03:59 pm

ජනතාවගේ ජීවිතය ඉඳුරාම වෙනස් වෙන බවට ජනාධිපතිවරණ වේදිකාවේදී කාට හෝ ප්‍රකාශ කළ හැකි නම් ඒ සර්වජන බලයට පමණක් බව සර්වජන ජනාධිපති ධුර අපේක්ෂක දිලිත් ජයවීර මහතා පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ අද (06) බලංගොඩ කිරිඳිගල පැවැති ජන හමුවක දීය.

"හැම ජනාධිපතිවරණයකදීම පොත් බෙදුවා. ඔබ ඒවා දැක්කා. සමහරු දිනුවා... සමහරු පැරදුණා. දිනපු අය ඔය පොත්වල තියෙන දේවල් කිසිදෙයක් කළෙත් නැහැ. ඇත්තම කිව්වොත් ඔය පොත්වල මුකුත් ඇත්තෙත් නැහැ." 

"අපිට පොඩි කාලේ ඉගැන්නුවා... මේ රට දියුණු වෙමින් පවතිනවා කියලා... මට කනගාටුයි... තව තවත් ආගාධයට යනවා මේ රට... පළවෙනි ලෝකයට යන බවක් පෙන්නේ නැහැ. ඒ ඇයි.. ඒ මේ තුන්වෙනි ලෝකයේ දේශපාලනය නිසා."

"මේ ප්‍රතිපත්ති ප්‍රකාශ ටික අරගෙන වෙලාවක් තියෙනවා නම් පොඩ්ඩක් කියවන්න. එතකොට ඔබට තේරෙයි... ඇයි ඔබ තාමත් තුන්වෙනි ලෝකයේ පුරවැසියෙක් වෙලා තියෙන්නේ කියලා."

"අනුර කුමාරගේ පොතේ තියෙනවා සෞඛ්‍ය ප්‍රතිපත්තිය. පටන් ගන්නේ සියලුම රෝගීන්ට ඇඳක් ලබාදෙනු ලැබේ කියලා. දෙයියනේ මේ ජනාධිපතිවරණයක ඉදිරිපත් කරන ප්‍රතිපත්ති ප්‍රකාශයක සෞඛ්‍ය ප්‍රතිපත්තිය ගැන තියෙන්නේ... ඔබ සියලු දෙනාටම ඇඳක් කියලා. මම උදාහරණයක් ගත්තේ."

"ප්‍රතිපත්ති ප්‍රකාශයක දර්ශනයක් අඩංගු විය යුතුයි. එහි තිබිය යුතුයි එකින් එක බද්ධ වුණු ප්‍රවේශයක්. තාර්කික විය යුතුයි. ඔබේ ජීවිතය ඊළඟ අවුරුදු 5 තුළ වෙනස් වෙන විදිය. එහෙම නැත්නම් අපි හැමදාම තුන්වෙනි ලෝකයේ."

"ජනතාවගේ ජීවිතය ඉඳුරාම වෙනස් වෙන බවට ජනාධිපතිවරණ වේදිකාවේදී කාට හරි කියන්න පුළුවන් නම් ඒ සර්වජන බලයට පමණයි."