දහසක් ප්‍රශ්න උඩ බංග්ලාදේශය දිවි පිදූවන් සමරයි

දහසක් ප්‍රශ්න උඩ බංග්ලාදේශය දිවි පිදූවන් සමරයි

September 6, 2024   09:21 pm

හිටපු බංග්ලාදේශ අගමැති ෂෙයික් හසීනා ධුරයෙන් නෙරපා මාසයක් සැපිරීම නිමිත්තෙන් සිසුන් දහස් ගණනකගේ සහභාගිත්වයෙන් "දිවි පිදූවන් වෙනුවෙන් වූ පාගමන" නමින් ඩකා අගනුවරදී ඊයේ (06) රැලියක් පැවැත්වුණි.

කෙසේ වෙතත්, වත්මන් භාරකාර රජය යටතේ බංග්ලාදේශයේ තත්ත්වය තවමත් යථා තත්ත්වයට පත්වී නොමැත. 

බංග්ලාදේශ සුළුතර ප්‍රජාව, අවාමි ලීගයේ ආධාරකරුවන් සහ ඔවුන්ට අයත් දේපොළ ඉලක්ක කරමින් සිදුවන ප්‍රචණ්ඩකාරී ක්‍රියා තවමත් වාර්තා වෙමින් පවති.

එවන් පසුබිමක බංග්ලාදේශයේ පහළොස් හැවිරිදි හින්දු තරුණයෙකු පොලිස් ස්ථානයක් තුළදීම කලහකාරී පිරිසකගේ පහර කෑමට ලක්වී මියයාමේ සිදුවීමක් ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

උත්සාව් මන්දෝල් නම් මෙම තරුණයා පොලීසියට කැඳවා තිබුණේ නබිතුමන්ට අපහාස වන සටහන් සමාජ මාධ්‍ය ජාල හරහා පළකිරීමේ චෝදනාව මතය.

ආරක්ෂක අංශ ඉදිරියේදී සිදුවූ මෙම ඝාතනයත් සමග බංග්ලාදේශයේ නීතිය සහ සාමය පිළිබඳව දැඩි මතභේදයක් උද්ගතවී ඇත.

මේ අතර විදෙස් සංචිත අවම වීම,  ප්‍රේෂණ අවම වීම, උද්ධමනය ඉහළ යාම සහ අපනයන අංශයේ පහත වැටීම සමග බංග්ලාදේශය දැඩි ආර්ථික අර්බුදයකට ද මුහුණ දෙමින් තිබේ.

විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ බංග්ලාදේශයේ ප්‍රධාන අපනයන ආදායම් මාර්ගයක් වන ඇඟලුම් ක්ෂේත්‍රයේ බිඳවැටීමෙන් තීව්‍ර වෙමින් පවතින අර්බුදය භාරකාර රජයට අභියෝගයක් වී ඇති බවය.