ව්‍යවසායක කාන්තාවන්ට දිලිත්ගෙන් අලුත් බලාපොරොත්තුවක්

ව්‍යවසායක කාන්තාවන්ට දිලිත්ගෙන් අලුත් බලාපොරොත්තුවක්

September 13, 2024   04:45 pm

රට ගොඩනැගීමේ ප්‍රබලම බලවේගය කාන්තාව සහ මාතෘත්වය බව සර්වජන, ජනාධිපති ධුර අපේක්ෂක ව්‍යාවසායක දිලිත් ජයවීර මහතා පවසයි.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ කාන්තා ව්‍යවසායක සමිති නිලධාරීන්ගේ හමුවක් අද (13) දිලිත් ජයවීර මහතාගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර යොවුන් නිකේතනයේ පැවැත්වුණි.

එම අවස්ථාවට එක්වෙමින් ව්‍යවසායක දිලිත් ජයවීර මහතා පවසා සිටියේ, කාන්තාව අභිප්‍රේරණය නොකර සමාජ වෙනසක් නිර්මාණය කළ නොහැකි බවය.

මෙහිදී ග්‍රාමීය කාන්තාව නඟා සිටුවීමට අවශ්‍ය අත්වැල සැපයීමට තමා සූදානම් බවත් අද වන විට කාන්තාව විශාල වශයෙන් දුක් කරදර රාශියකට මුහුණ දී සිටින බවත් පැවසු දිලිත් ජයවීර මහතා, ආදායම් විෂමතාවයන් නැති කර පවුලේ ආදායම වැඩි කිරීම සඳහා උපාය මාර්ගික වැඩසටහනක් යටතේ කාන්තාව ශක්තිමත් කරන බව ද සඳහන් කළේය.

එමෙන්ම වර්තමානයේ ලබාදී ඇති ව්‍යාජ සහනාධාර ක්‍රමය වෙනුවට 'හිතේ හයිය' නමැති උපාය මාර්ගික යෝජනාව තුළින් සෑම නිවසකටම අවම ආදායම රුපියල් ලක්ෂයක් දක්වා වැඩිකිරීමට අවශ්‍ය වැඩපිළිවෙල තමා විසින් දින වකවාණු සමග ඉදිරිපත් කර ඇතැයි ද දිලිත් ජයවීර මහතා පැවසීය.

දියුණු වීමට අවශ්‍ය ප්‍රාග්ධනය, දැනුම හා අතහිත ලබාදීමටත් ඉතාම අවම අවස්ථාවක දී රජය මැදිහත් වී සහනාධාරයක් අවශ්‍ය නම් රු 40,000ක් ලබාදීමටත් ක්‍රියාකරන බව ද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

මේ අතර ක්ෂද්‍ර මූල්‍ය ණය උගුලේ වැටී ඇති ශ්‍රී ලාංකික කාන්තාවන් ඉන් මුදවා ගැනීම වෙනුවෙන් ඔවුන්ගේ ණය පොලිය වහාම ඉවත් කරන බවත්, ඉන් අනතුරුව තමාගේ ව්‍යාපාරයක් ආරම්භ කිරීමට කැමැත්තක් දක්වන කාන්තාවන්ට නැවත ප්‍රාග්ධනයක් ලෙස අවම පොලියක් යටතේ රජයේ සහයෝගය ලබාදීමට තම උපාය මාර්ගික වැඩපිළිවෙල තුළින් හැකියාව ඇති බවත් දිලිත් ජයවීර මහතා පැවසීය.

"අද වනවිට දිවයින පුරා විශාල කාන්තාවන් ප්‍රමාණයක් මේ අදහස තේරුම් අරගෙන තියෙනවා දේශපාලනය කුමක් වුණත්. මම ඇවිල්ලා තියෙන්නේ සාම්ප්‍රදායික දේශපාලනය කරන්න නෙමෙයි. මම දේශපාලනයට එන්නේ දේශපාලනයෙන් යැපෙන්න නෙමෙයි. දේශපාලනයෙන් ගන්න දේකුත් නෑ. මට දෙන්න දෙයක් ඇරෙන්නට. අවුරුදු 6ක කාලයක් තුළ අපි ගම් 6,000ක විතර අපි විවිධ ව්‍යාපෘති, සමාජ සත්කාරක ව්‍යාපෘති මිලියන, බිලියන ගණන් වියදම් කරලා සිදුකරලා තියෙනවා. හැබැයි මාව ගොඩක් අය දැකලා නෑ. මොකද මගේ මූණ දැකලා නෑ දෙරණෙවත්. ඒකට හේතුව මම පෙන්නුවේ නෑ. මට පෙන්වන්න හොඳ නාට්‍යයක් හම්බවුණෙත් නෑ. මගේ අදහස වුණේ පුළුවන් තරම් සමාජ සත්කාර ක්‍රියාකාරකම් කරලා, අපි ලබාගත් ධනය කොහොමද  ජනතාව අතර බෙදාගෙන අපි ඔක්කෝම සතුටින් ඉන්නේ කියලා. 

මම බිලියන ගණනක බදු ගෙවලා තියෙනවා. ඒ වගේම සමාජ සත්කාර කරලා තියෙනවා. අවාසනාවකට වගේ මේ රටේ දේශපාලනයට මේක නැවුම් අත්දැකීමක්. මම දේශපාලනයට ආවේ මෙවන් පසුබිමක. අහිංසක ප්‍රාර්ථනාවන් ඇති ඔබ කොතරම් හොඳ මිනිස්සුද කියලා අපේ හදවතට දැනෙනවා. ලංකාවේ දේශපාලනය දීර්ඝ කාලයක් තිස්සේ අපිට අහිමිවෙමින් පැමිණ අද නැත්තටම නැති වෙලා තියෙන්නේ ඔබ ගැන තිබෙන සහකම්පනය. මේ මිනිස්සු පව් කියලා හිතෙන්නේ නැති එක. ලංකාවේ 70%කට අධික ප්‍රමාණයක් ජීවත් වෙන්නේ සතුට කියන දේ ගැන ලොකු සංකල්පයක් නැතිව ඔබත් ඇතුළුව."