රටට අවශ්‍ය වන්නේ මුදල් සහ ව්‍යවසායකත්ව අමාත්‍යාංශයක් - දිලිත්

රටට අවශ්‍ය වන්නේ මුදල් සහ ව්‍යවසායකත්ව අමාත්‍යාංශයක් - දිලිත්

September 15, 2024   09:01 pm

ව්‍යවසායකත්ව මනසකින් යුතු ශ්‍රී ලාංකිකයින් බිහිකිරීමට සහ ඔවුන් ඉදිරියට ගෙන යාමට මුදල් සහ ව්‍යවසායකත්ව අමාත්‍යාශයක් බව සර්වජන අපේක්ෂක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා පවසයි.

අද (15) පස්වරුවේ කිරිබත්ගොඩ පැවති ජනරැලියක් අමතමින් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ණය ගන්නා දුර්වල අමාත්‍යාංශයක් මෙරටට අනවශ්‍ය බවය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සර්වජන අපේක්ෂක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා,

"මේ අපි යන්නේ තුන්වෙනි ලෝකෙන් යම ලෝකෙට. රතුපාට දම්පාට වෙලා. මේ දම්පාට අද අපට ගෙන එන්නේ අසුබ පණිවිඩයක් එය හොඳට තේරුම් ගන්න. මේ ඓතිහාසික ජනාධිපතිවරණයක්. අපි ණය කළමනාකරණය කරලා ජීවිතයේ ප්‍රායෝගිකව මේවාට මුහුණ දුන් පුද්ගලයෙක් හැටියට කියන්නේ. මෙය කරන්න හැකි වැඩපිළිවෙළක්. ඔය දැන් ඉතුරුවෙලා ඉන්න ජනාධිපති අපේක්ෂකයෝ තුන්දෙනාම සුරුට්ටු කඩයක්වත් කරලා නෑ, පෙට්ටි කඩයක් වත් කරලා නෑ, රස්සාවක්වත් කරලා නෑ, බදු ගෙවලා නෑ, අද බදු ගෙවන්නෙත් නෑ. අවුරුදු 30ක් මේ මහ පොළොවේ හැපිලා ව්‍යාපාර කරපු කෙනෙක් හැටියට මේ ආර්ථික විද්‍යාව පිළිබඳ ප්‍රායෝගික අත්දැකීම් ඇති පුද්ගලයෙක් හැටියට අපි මේ ආර්ථිකය කළමනාකරණය කරන ආකාරය."

"ආර්ථිකය, මොකද කියන්නේ පොහොසත් වෙන ආකාරය මේකේ සටහන් කරලා තියෙනවා. අපි යෝජනා කරන්නේ මුදල් අමාත්‍යාංශය වෙනුවට මුදල් සහ ව්‍යවසායකත්ව අමාත්‍යාංශය. ව්‍යවසායකත්ව මනසකින් යුතු ශ්‍රී ලාංකිකයින් ඇහැරවලා අභිප්‍රේරණය කරලා අපේ කාන්තාව ඇහැරවලා අපේ තාරුණ්‍යය ඇහැරවලා ඉස්සරහට ගෙනියන්නට පුළුවන් මුදල් සහ ව්‍යවසායකත්ව අමාත්‍යාංශයක් තමයි අපි පිහිටුවන්නට ඉන්නේ. ණය ගන්න දුර්වල අමාත්‍යාංශයක් නෙමෙයි."

සර්වජන අපේක්ෂක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා සහභාගී වූ තවත් ජන රැලියක් අද බණ්ඩාරගම ප්‍රදේශයේ දී පැවැත්විය.

එම ජනරැලියක් අමතමින් ඔහු සඳහන් කළේ ඕනෑම තර්ජනයක් හමුවේ මාතෘ භූමිය ආරක්ෂා කිරීමට තමන් කැපවන බවය. 

අනෙකුත් දේශපාලන පක්ෂ සිය ප්‍රතිපත්ති ප්‍රකාශවලින්ම රට බෙදන්නට උත්සාහ කරද්දී මව්බිම සියලු හානිකර බලවේගවලින් ආරක්ෂා කරන්නේ සර්වජන බලය පමණක් බව ද ඒ මහතා ප්‍රකාශ කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සර්වජන අපේක්ෂක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා,

"උපායමාර්ගික වැඩපිළිවෙළක් නොමැති නිසා තමයි පාස්කු බෝම්බ ප්‍රහාරය එල්ල වුණේ. බංග්ලාදේශයේ ඉරණම රටට අත්වෙන්නේ ඒ අයගේ ප්‍රතිපත්ති ප්‍රකාශවල ජාතික ආරක්ෂාව ගැන නැති නිසා. 

3%ක් ඉන්නට පුළුවන් විවිධ හේතු නිසා අසහනයෙන් පෙළෙන අය. ඒක 3.5%ක් වෙන්න විදිහක් නෑ. මේ 3.5%ක් වුණානම් එතැන් සිට යන සියලුම දෙනා අපේ කඳවුරේ ඉඳලා මේ රටට ආදරය කළ පුද්ගලයින්. මම ඔවුන්ට ආයාචනාත්මකව ඉල්ලා සිටිනවා ඔය වෛරය නිසා මේ විනාශයට පාර කපන්න එපා. මේක ආදරණීය දේශය. මේකට වෛරය ගෙන්නට එපා. 

ඉතිහාසෙටවත් මේ වගේ ට්‍රැවල් ඇඩ්වයිසරි එකක් ඇවිල්ලා නැත්නම් ඇයි මේ මොකක්ද වෙන්නේ කියලා මොහොතකට හිතන්න. මේ අපේ ආදරණීය මව්බිම ආරක්ෂා කරගැනීමට උපායමාර්ගික වැඩපිළිවෙළ. මේ අපේ රන් වැට කියන උධෘතය යටතේ අපි ඇතුළත් කරලා තියනවා කොහොමද මධ්‍යම බුද්ධි කාර්යාංශයක් ඇති කරන්නේ, කොහොමද පුරෝකථනය කරන්නේ මේ රටට ආ හැකි තර්ජන මොනවාද, අපේ රණවිරුවන් ආරක්ෂා කරන වැඩපිළිවෙළ මෙහි සඳහන් කරලා තියනවා. 

මේ අපේ මව්බිම දිගින් දිගටම රැකගන්නා බවට මම ප්‍රතිඥා දෙනවා ඕනෑම තර්ජනයක් හමුවේ."