පාර්ලිමේන්තුවේ 150කට වැඩි පිරිසක් ගෙදර යවනවා - අනුර

පාර්ලිමේන්තුවේ 150කට වැඩි පිරිසක් ගෙදර යවනවා - අනුර

September 15, 2024   10:31 pm

සිය ජයග්‍රහණයෙන් පසු මාස එකහමාරක් ඇතුළත පාර්ලිමේන්තු මැතිවරණය පවත්වන බවත් එහිදී වත්මන් පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රීවරුන්ගේ 150කට වැඩි පිරිසකට ඉවත්වීමට සිදුවන බවත් ජාතික ජන බලවේගයේ ජනාධිපතිධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ඔහු මේ බව පැවසුවේ ඊයේ (14) පස්වරුවේ පන්නල නගරයේ පැවති ජනරැලියක් අමතමිනි.

"රනිල් වික්‍රමසිංහ මොන තරම් අවලාද කිව්වත්. සජිත් ප්‍රේමදාස මොන තරම් අසත්‍ය කතා කිව්වත්. තවදුරටත් මේ ව්‍යාපාරයේ ගමන පරාද කරන්න බෑ. දැනගන්න රනිල් සජිත් ඔයාලා පරක්කු වැඩියි. Too late 'දැන් පරක්කුයි. අපි ඉක්මනින්ම පාර්ලිමේන්තුව විසුරුවා හරිනවා. මේ පාර්ලිමේන්තුවේ කුණුහරුප වලින් කෑ ගහනවා. මිනි මරලා හිරේ ගියපු, කප්පම් අරගෙන හිරේ ගියපු ත්‍රාඩයන්ගේ තෝතැන්නක් වෙලා තියෙන්නේ. ඕනේද මේ වගේ පාර්ලිමේන්තු.  මාස එකහමාරක් ඇතුළත මහ ඡන්දේ තියනවා. මේ ඉන්න පාර්ලිමේන්තුවේ 150කට වැඩි පිරිසක් ගෙදර යවනවා. අනිත් හැම එකක්ම සජිත් කොපි කරනවා. මේ ටික කොපි කරන්නේ නෑ."

මේ අතර, ඉදිරි ජනාධිපතිවරණය ඉලක්ක කර ජාතික ජන බලවේගය පවත්වන ජනරැලි මාලාවේ තවත් ජනරැලියක් තලවකැලේ ප්‍රදේශයේ පැවැත්වුණි.

එහිදී අදහස් දැක්වූ ජනාධිපතිධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පැවසුවේ තම පාලනයක් යටතේ මත්ද්‍රව්‍ය මුළුමනින්ම ශ්‍රී ලංකාවෙන් තුරන් කරන බවයි.

"ඉගෙන ගන්න පාසලක් නෑ. ගුරුවරු නෑ. පහසුකම් ටික නෑ. විනාශ වෙලා යනවා. ලොක්කන්ට එක ජීවිතයක් ජනතාවට දුක්ඛිත ජීවිතයක්. මේ ක්‍රමය අපි වෙනස්කළ යුතුයි. ජනතා සල්ලි කෝටි ප්‍රකෝටි ගණන් පාලකයෝ නාස්ති කරනවා. හොරු කවදාවත් රටවල් හදන්නේ නැහැ. කඳුකරයේ කුඩු, මත්ද්‍රව්‍ය පැතිරෙමින් තිබෙනවා. දරුවන් ගැන මව්පියන් බයෙන් ජීවත් වෙන්නේ. දරුවා, පවුල, ගෙදර, අල්ලපු ගෙදර මේ ඔක්කොම ඉවරයි. නුවරඑළියට කුඩු ගේන්නේ දේශපාලකයෝ. මත්ද්‍රව්‍ය බිස්නස් කරන්නේ දේශපාලකයෝ. කුඩු, මත්ද්‍රව්‍යවලින් තොර රටක් හදන බවට සහතික වෙනවා. අපි කුඩු මුළුමනින්ම මර්දනය කරනවා. හෝටලයක වැඩකරන්න, දරුවා බලාගන්න කෙනෙක් නැත්නම්. අහන්නේ තලවකැලේ කෙල්ලෙක්,කොල්ලෙක් නැද්ද කියලා. හැබැයි ඊට වඩා රැකියා නැද්ද?. ඔබ විඳින දුක දරුවාට අත්වෙන්න ඉඩ දෙන්නේ නැහැ. නිවසක්, අධ්‍යාපනය, විනෝදය සහ හොඳ අනාගතයක් සහිත රටක් හදමු."