හිස්බුල්ලා සටන්කාමීන්ව බියවැද්දූ පේජර් ප්‍රහාරය 
සයුරෙන් එතෙර

හිස්බුල්ලා සටන්කාමීන්ව බියවැද්දූ පේජර් ප්‍රහාරය 

September 18, 2024   06:37 pm

ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් ඉලක්ක කර එල්ලකළ පේජර් ප්‍රහාරය සම්බන්ධයෙන් තව තවත් තොරතුරු හෙළිවෙමින් තිබේ.

ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළේ එම ප්‍රහාරයෙන් 12 දෙනෙක් මියගොස් ඇති බවයි.

ඉන් දෙදෙනෙක් ළමුන් ය.

එවැනිම පිපිරීම් සිරියාවේ ඩැමස්කස් නුවරින් ද වාර්තා වී තිබුණි.
 
දැනට හෙළිවී ඇති තොරතුරු අනුව ඊශ්‍රායලයේ මොසාඩ් රහස් ඔත්තු සංවිධානය විසින් හිස්බුල්ලා සාමාජිකයින් යොදාගන්නා පේජර් සඳහා පුපුරණ ද්‍රව්‍ය අටවා ඇති බව හෙළිවිය.   

හිස්බුල්ලා සාමාජිකයින් ට ජංගම දුරකථන භාවිතය මීට මාස කිහිපයකට පෙර තහනම් කළ අතර ඒ වෙනුවට තොරතුරු හුවමාරුව සඳහා පේජර් භාවිත කිරීමට පියවර ගැනුණි. 

මෙම ප්‍රශ්නගත පේජර් මෑතකදී මිලදී ගෙන තිබූ අතර හිස්බුල්ලා සංවිධානය, ඊශ්‍රායල සැලැස්ම දැනගනී යැයි අනුමාන කර සැලසුම් කළ දිනට පෙර ඒවා පුපුරුවා ඇති බව සඳහන් ය.  

පුපුරා ගොස් තිබූ පේජර් වල සන්නාමය තායිවාන සමාගමක් වන Gold Apollo ලෙස සඳහන් වුවද එම සමාගම එම චෝදනාව ප්‍රතික්ෂේප කරයි.

ඔවුන් පවසන්නේ අදාළ පේජර් නිෂ්පාදනය කර ඇත්තේ හංගේරියානු සමාගමක් බවයි.

එම පිපිරීම් වලින් බොහෝ දෙනෙකුගේ ඇස් වලට සහ අත් පා වලට හානිවී තිබුණි.

ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළේ පේජර් පිපිරීම හේතුවෙන් හිස්බුල්ලා මන්ත්‍රීවරයෙකුගේ පුත්‍රයා සහ බෙකා නිම්නයේ හිස්බුල්ලා සාමාජිකයෙකුගේ දියණිය ද මියගොස් ඇති බවයි.

ලෙබනනයේ තුවාල ලැබූ පිරිස 3,000කට ආසන්න ය.